බැංකු කාඩ්පත් (Credit/Debit Cards) හෝ මාර්ගගත (Online) ක්රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමේදී, ඇතැම් වෙළෙඳ ආයතන විසින් 2.5%ක හෝ 3%ක අමතර ගාස්තුවක් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඕනෑම වෙළෙඳ ආයතනයක් Online හෝ POS යන්ත්ර හරහා ගෙවීම් පහසුකම් ලබාගන්නේ අදාළ බැංකුව සමඟ ඇති කරගන්නා විශේෂ ගිවිසුමක් යටතේ බැවින්, එම ගිවිසුම් ප්රකාරව භාණ්ඩ හෝ සේවාවන්හි නියමිත මිලට වඩා වැඩිපුර කිසිදු අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට අදාළ වෙළෙඳුන්ට හැකියාවක් නොමැති බව මහ බැංකුව පෙන්වා දෙයි.
යම් වෙළෙඳ ආයතනයක් විසින් කාඩ්පත් ගෙවීම් සඳහා මෙලෙස අසාධාරණ ලෙස වැඩිපුර මුදලක් අය කරන්නේ නම්, වහාම පහත පියවර අනුගමනය කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී:
- නිල රිසිට්පත ලබාගැනීම: අමතර මුදල අය කළ බව සනාථ කිරීම සඳහා අදාළ ගනුදෙනුවට හිමි නිල රිසිට්පත ලබාගන්න.
- බැංකුවට පැමිණිලි කිරීම: ඔබට අදාළ කාඩ්පත නිකුත් කළ බැංකුව වෙත වහාම ඒ පිළිබඳව පැමිණිලි කරන්න.
එමෙන්ම, ගෙවීම් යන්ත්රයෙන් ලබාදුන් රිසිට්පත අදාළ බැංකුව වෙත ඉදිරිපත් කිරීමෙන් වැඩිපුර අය කරගත් මුදල ආපසු ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බවද ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.