පසුගිය කාලයේ සිදු වූ වැරදි නිවැරිදි කරමින් දැන් ආර්ථිකය හොද තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති කියයි

වර්තමානයේ ශ්‍රී ලංකාව යම් ආර්ථික ස්ථාවරත්වයකට පැමිණ ඇත්තේ පසුගිය කාලයේ සිදුවූ වැරදි නිවැරදි කරමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු එවකට සිටි ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තුවට පවා නිසි ලෙස ඉදිරිපත් කර නොතිබූ බවයි.

මෙරට ආර්ථික බංකොළොත්භාවයට හේතු වූ කරුණු සහ එයට බලපෑ පරිපාලනමය දුර්වලතා පිළිබඳවද මෙහිදී මහ බැංකු අධිපතිවරයා කරුණු අනාවරණය කළා.

2022 අප්‍රේල් 8 වැනිදා තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 25ක් දක්වා පහත වැටී තිබූ අතර, එම කාලය තුළ ඩොලර් බිලියන 6ක විදේශ ණය වාරික ගෙවීමටද සිදුව තිබූ බව ඔහු සිහිපත් කරනවා.

එවකට වගකිවයුතු නිලධාරීන් රටේ සැබෑ මූල්‍ය තත්ත්වය වසන් කරමින් කිසිදු ගැටලුවකින් තොරව ණය ගෙවිය හැකි බවට ප්‍රකාශ කළද, එම ක්‍රියාකලාපය හේතුවෙන් ආර්ථිකය දැඩි අවදානමකට ලක් වූ බවද වීරසිංහ මහතා සඳහන් කළා.

එම තත්ත්වය හමුවේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය රට සම්පූර්ණයෙන්ම බිඳවැටීම වළක්වා ගැනීමට තිබූ එකම ප්‍රායෝගික විකල්පය වූ බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *