2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළකළද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බවත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම මෙන්ම, ජාතිවාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමත්, දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමත් වත්මන් රජය බලයට පත් කරගැනීමේදී ජනතාව ලබාදුන් ජනවරමේ අපේක්ෂාව වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජය මේ වනවිට සැලකිය යුතු වැඩ කොටසක් ඉටුකර තිබෙන බවද සඳහන් කළේය.
එමෙන්ම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමේ වගකීම තම රජය යටතේ ඉටු නොවුණහොත් වෙනත් කිසිදු රජයක් යටතේ එය ඉටු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අද බලය, ධනය සහ තරාතිරම නොබලා සැමට නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද පෙන්වා දුන්නේය.
එසේම, විශ්‍රාම වැටුප ඇතුළු දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද අහෝසි කර දේශපාලකයා මහජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (22) පෙරවරුවේ එක් වෙමිනි.
1999 වසරේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 සිට සම්පූර්ණයෙන් නතර වී තිබිණි. ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමේ අරමුණෙන් සහ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමකට අනුව වැඩ ආරම්භ කර වසර 24කට පසුව යළි මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 945.04ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන 2026 අයවැය යටතේ වෙන්කර ඇත. ඉතිරි ප්‍රතිපාදන ද අවශ්‍යතාව පරිදි වෙන් කිරීමට නියමිත අතර ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් 2027-12-31 දින වනවිට අවසන් කිරීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“අපි ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක්. දිට්වා සුළි කුණාටුව හමුවේ මෙන්ම මැදපෙරදිග යුද තත්ත්වය හමුවේත් අපි ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විශාල මුදලක් වෙන්කළා. අපි රටේ ආර්ථිකය ශක්තිමත් කළා. එහෙත් මැදපෙරදිග කලාපයේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීමේදී ඩොලර්වල අගය ඉහළ ගියා. සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩි ඩොලර් ප්‍රමාණයක් අද පිටතට ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇතිවුණා. ඇතැම් අපනයන ආදායම්වලට බලපෑමක් ඇති වී තිබෙනවා. අද රුපියලට සාපේක්ෂව ඩොලරය යම් ප්රමාණකින් ඉහළ යමින් තිබෙනවා. ඇතැමුන් කියනවා මේක 2022 වගේ කියලා. 2022 වගේ වෙන්නේ නැහැ. 2022 අපිට රුපියල් තිබුණේ නැහැ. 2022 මහ බැංකුවෙත් ඩොලර් තිබුණේ නැහැ. අද එහෙම නෙවෙයි, වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් මිලියන 7,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එදා මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50යි. හෙට අනිද්දා අපිට තවත් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා. එවිට සැලකිය යුතු ඩොලර් සංචිතයක් අපි ළඟ තිබෙනවා.
හැබැයි, ක්‍රමානුකූලව අපි රටේ ආර්ථිකය හැසිර විය යුතුයි. අපි කිසිසේත්ම ආනයනය කරන ඉන්ධන, ගෑස්, කිරිපිටි, පොහොරවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ. මම එය ඔබට සහතික වෙනවා. එදා ඉන්ධන නැතිව ගියා, කිරිපිටි නැතිව ගියා, ගෑස් නැතිව ගියා. පොහොර කොහොමත් නැතිව ගියා. එවැනි තත්ත්වයක් යළි ඇති වන්නේ නැහැ. එහෙත් අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි එය කළමනාකරණය කරගත යුතුයි. රට ඇතුළේ ප්‍රශ්නවලට අපි මුහුණ දුන්නා. දිට්වාවලට අපි මුහුණ දුන්නා. එය අභ්‍යන්තර ප්‍රශ්නයක්. හැබැයි, මෙය අපේ පාලනයෙන් තොර මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වයක්. මෙයටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මතවාද හදන්න හදනවා, මේක 2022 වගේමයි කියලා. එහෙම වෙන්නේ නැති බව ඔබ මතක තබා ගන්න. අපි ඒ ප්රශ්නය විසඳනවා. අපි රුපියල් උපයා තිබෙනවා. ඒ නිසා තමයි අද මේ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් අපිට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ලැබුණේ.
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා,
වසර 24කට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නොහැකි වී තිබූ පසුබිමක, ජාතික ජන බලවේගය රජය බලයට පත්ව වසර එකහමාරක් ඇතුළත මෙය නැවත ආරම්භ කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. මඩකලපුව පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා සඳහන් කළ පරිදි, මෙම රජය ජාති, ආගම් භේදයකින් තොරව කටයුතු කරන රජයක්.
මෙම සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ජාති, ආගම් භේදයකින් තොරව ජනතාවට සමගියෙන් ජීවත් වීමට අවශ්‍ය පදනම සැකසෙනවා.
වසර 30ක් පැවැති යුද්ධයක් අපට නැවත අවශ්‍ය නැහැ. නැඟෙනහිර පළාතේ ජනතාව යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගිය තුළින් මෙම රට තවදුරටත් ඉදිරියට ගෙන යා හැකියි. ඒ සඳහා සැවොම සහයෝගය ලබා දිය යුතුයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය ඇමැති වසන්ත පියතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර, නින්දවූර් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පළාතේ මහජන නියෝජිතයෝ, දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.