ආපහු IMF ගිවිසුමකට යන්න රජයේ බලාපොරොත්තුවක් නැහැ – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ කියයි

2027 මාර්තු මාසයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ තවත් අනුප්‍රාප්තික ගිවිසුමකට එළඹීම පිළිබඳව රජය තුළ කිසිදු සාකච්ඡාවක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.

ඊයේ (27) පැවති වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වත්මන් රජයේ අරමුණ පවතින ගිවිසුම සාර්ථකව අවසන් කිරීම මිස නව ගිවිසුම් කරා යාම නොවන බවයි. 2027 මාර්තු මාසයෙන් පසු නව IMF ගිවිසුමකට යා යුතු බවට විපක්ෂ නායකවරයා කර ඇති යෝජනාව මෙහිදී ප්‍රතික්ෂේප විය.

එහිදී චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය:

“නෑ. කිසිම එහෙම සාකච්ඡාවක් නෑ අපි මේ ගිවිසුම අවසන් කිරීම සඳහා තමයි සාකච්ඡාව ඒ පැත්තට අරන් යන්නේ. IMF ගිවිසුම කියන එක මතක් කරගන්න ඕනේ. මේ ඩොලර් දෙන එක විතරක් නෙමෙයි. මේකේ තියෙනවා ෆිස්කල්, Governors, financial වෙනස්කම්. එතකොට ඊළඟ අවුරුද්දේ මාර්තු වෙනකොට අපි සියලුම ප්‍රතිව්‍යුහගත කිරීම් සෑහෙන දුරට ඉවර කරලා තියෙන්නේ. එතකොට එතනින් එහාට තව ගිවිසුමකට යන්න අවශ්‍යතාවයක් නෑ. ඒ කියන්නේ මේ 16 වරක් කරගන්න බැරි වෙච්ච ටික අපි කරලා ඉවර කළේ…”

ලබන වසරේ මාර්තු මාසය වන විට මෙරට අත්‍යවශ්‍ය සියලුම ප්‍රතිව්‍යුහගත කිරීම් සෑහෙන දුරට අවසන් කිරීමට රජය කටයුතු කරන බැවින්, ඉන් අනතුරුව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව සිටීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට පෙර 16 වතාවක් IMF වෙත ගියද සිදු කරගත නොහැකි වූ ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වත්මන් රජය මේ වන විට සාර්ථකව නිම කරමින් පවතින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *