දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළ අනුරාධපුරයේ හිමිනමකට වසර 30ක සිරදඩුමක් නියම කරයි

බාලවයස්කාර පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මාතා විසින් අනුරාධපුර විහාරස්ථානයක ප්‍රසිද්ධ විහාරාධිපති හිමි නමකට වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

පැවිදිවීම සඳහා තම විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව මහාධිකරණය හමුවේ අධි චෝදනා 3 ක් ලබා සිටි විත්තිකාර විහාරාධිපති හිමිනම එම චෝදනා 3 ට වරදකරු බවට තීන්දු කරමින් මෙම නියෝගය ඊයේ (27) ලබා දී තිබේ.

ඊට අමතරව වින්දිත බාල වයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර හිමිනමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියොත් විත්තිකාර හිමිනමට තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කළේය.

විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත 30 වසරක සිරදඬුවම දස වසරකින් එක්වර ගෙවී යා යුතු බවටද නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *