විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන්, සන්ඩේ ටයිම්ස් පුවත්පත, ඔවුන්ගේ සුප්‍රසිද්ධ ප්‍රධාන දේශපාලන ලිපිය මගින් කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ.
එම ලිපියේ සදහන්වන ආකාරයට, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම පිළිබද යෝජනාව මහජනතාව හමුවට ගෙන ඒමට තරම් නිර්භීතකමක් මුලදී රජයට නොතිබුණි.
විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ විනිසුරුවරුන්ගේ සංගමය සිය විරෝධය මුලදීම ප්‍රකාශ කර තිබුණු අතර, එම විරෝධයට සමාජය තුළ සැලකිය යුතු බරක් ද තිබුණි.
මේ හේත-ුව නිසාම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය මහජන අවකාශය තුළ සාධාරණීකරණය කරලීමේ දුෂ්කරතාවයකින් රජය පෙළමින් සිටියේ ය.
එවැනි තත්ත්වයක් තුළ, පරාජිත දේශපාලනඥයන්, විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහි සංවාදයට මැදිහත් වූ අතර, එය සිහිනෙන් හෝ බලාපොරොත්තු නොවූ වාසියක් ආණ්ඩුවට අත්කර දී තිබේ.
විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහි වන්නේ, නඩු වැටී ඇති දූෂිත දේශපාලනඥයන් යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට රජය දැන් කටයුතු කරමින් සිටියි.
විනිසුරු විශ්‍රාම වයස ඉහල නැංවීමට එරෙහිව හඩ නගන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයේ දී හමු විය.
නමුත්, එවැනි පිරිසකට, විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව මහජන මතයක් ගොඩ නැගීමට හෝ ඒ සම්බන්ධයේ රජයට ඇති මතය වෙනස් කිරීමට හෝ හැකියාවක් තිබේ යැයි සිතිය නොහැකි බව සන්ඩේ ටයිම්ස් දේශපාලන ලිපිය අවධාරණය කරයි.
මේ වන විට විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යැයි පවසන සන්ඩේ ටයිම්ස් දේශපාලන ලිපිය, පවතිත තත්ත්වය තුළ, එය වැළැක්වීමේ හැකියාවක් නීතීඥ සංගමයට, විනිසුරු සංගමයට හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට තිබෙනු ඇතැයි සිතිය නොහැකි බවද පවසයි