රටක පාලකයන් ධාර්මික නොවන විට කාලගුණය පවා අකීකරු වී වැස්ස නැති වන බවත්, ස්වාභාවික විපත් බහුල වන බවට අතීතය පෙන්නුම් කර දෙන බවත් ශ්‍රී කල්‍යාණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ ධර්ම වාගීශ්වරාචාර්ය යටිගල පඤ්ඤාලෝක නාහිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ තංගල්ල, පොලොම්මාරුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද (15) උදෑසන පැවැති හිසතෙල් ගෑමේ මහෝත්සවයට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අමතමින්.
“රාජා භවතු ධම්මිකෝ” යන තේමාව පෙරදැරිව දැහැමි රජ කෙනෙකු පහළ කරගැනීමේ වගකීම දැන් පවතින්නේ නාමල් රාජපක්ෂ මහත සතුව බව උන්වහන්සේ පෙන්වාදෙනවා.
අද වන විට රටේ ජනතාව පවතින්නේ දැඩි පීඩාවක බවට පැවසූ යටිගල පඤ්ඤාලෝක නාහිමියන්, බොහෝ දෙනෙකුට අලුත් අවුරුද්ද සැමරීමට පවා නොහැකි තරම් දුක්ඛිත තත්ත්වයක් උදාවී ඇති බව එහිදී කියා සිටියා.
වර්තමානය වන විට සෑම පුද්ගලයෙකුම පසුවන්නේ මහත් පීඩාවකින් සහ දැඩි කනස්සල්ලකින් බවත්, එක් පසෙකින් පවතින දැඩි නියඟය මීට එක් හේතුවක් වී ඇති බවත් උන්වහන්සේ පෙන්වාදෙනවා.
උන්වහන්සේ පවසන්නේ, පාලකයන් අධාර්මික වන විට කාලගුණය පවා අහිතකර වී, රටේ වර්ෂාපතනය අහිමි වන අතර ස්වාභාවික විපත් බහුල වන බවයි.
ඒ අනුව, මෙම පීඩිත ජනතාව ඉන් මුදාගෙන රට සෞභාග්‍ය කරා මෙහෙයවීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතා සතු වන බව යටිගල පඤ්ඤාලෝක නාහිමියන් වැඩිදුරටත් අවධාරණය කළා.
වත්මන් පාලන ව්‍යුහය තුළ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතික අංගයන් රාජ්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් කිරීමට උත්සාහ දරන බව උන්වහන්සේ එහිදී චෝදනා කළා.
එවැනි පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලු අපහසුතා මධ්‍යයේ නැකතට අනුකූලව සිරිත් විරිත් ඉටු කිරීමට පැමිණීම, ජනතාව සහ සංස්කෘතිය කෙරෙහි දක්වන සුවිශේෂී සැලකිල්ලක් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.
Source : News19