අගමැති හරිනිගේ ෆේස්බුක් එකට විදුහල්පති කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන් කරගෙන හදපු තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

පසුගිය පාලන සමයන්හි “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර, මහල් දෙකක් පමණක් නිමවා වසර ගණනාවක් තිස්සේ අව්වට වැස්සට නිරාවරණය වෙමින්, විනාශ වීමේ අවදානමකට ලක්ව තිබූ මාතර, දෙනියාය කලාපයේ මාර/අලපලාදෙනිය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජය යටතේ සාර්ථකව අවසන් කර ඊයේ (20)දා සිසු අයිතියට පැවැරුවේ කිසිදු උත්සවයකින් තොරවයි.

රුපියල් කෝටි හතරකට අධික දැවැන්ත පිරිවැයක් (රු. 40,000,000 +) වැය කරමින්, දේශපාලන උදාසීනත්වයේ හිරවී තිබූ මෙම ව්‍යාපෘතිය මාස පහක් වැනි ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් නිම කිරීමට වත්මන් රජය පියවර ගත් බවත් අධ්‍යාපනයට හැකි තරම් මුදල් වෙන් කරමින් හිතකාමී ව්‍යාපෘති සිදු කරන බව මාධ්‍ය හමුවේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පැවැසුවේ ගොඩනැල්ලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

දිරාපත් වෙමින් පැවති ගොඩනැගිල්ලක් දූ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මෙලෙස සුරක්ෂිත කර, මේ වන විට දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා නිල වශයෙන් පවරා දී අවසන්ය. මෙය වචන වලට පමණක් සීමා නොවී, ජනතා බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් සිටිනා රජයේ අගමැතිනිගේ පෞද්ගලික සමාජ මාධ්‍ය පිටුවට අතරමග නතර වූ පාසලේ ගොඩනැගිල්ල ඉදිකර දෙන්නැයි කමෙන්ට් එකක් දැමීම සමග අධ්‍යාපන ඇමතිවරිය ලෙස පළමු අයවැයෙන්ම මුදල් වෙන් කර දී පාසලේ පරිපාලනය හා අධ්‍යාපන කටයුතු පහසු කර දුන් බව විදුහල්පති ඩබ් ජී දයානන්ද මහතා පැවසුවා.

අතහැර දමා තිබූ තත්ත්වයෙන් මුදාගෙන, අද දින අධ්‍යාපනයෙන් මුවහත් වූ දූ දරුවන්ගෙන් හැඩවෙන ආකාරයට පාසලට අවශ්‍ය මූලික පහසුකම සම්පූර්ණ කර දුන් ජනාධිපති ප්‍රධාන රජයට දෙමාපියන්ගේද ප්‍රශංසාව ලබා දෙන බව දෙමාපියන්ද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *