වෙසක් කූඩුව හැදුවේ සිංහල දෙමළ හැමෝම එකතුවෙලා.කඩාකප්පල්කාරීන් හෙළා දකිනවා – යාපනය ශිෂ්‍ය සංගමය කියයි

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ සිංහල සිසුන් විසින් සංවිධානය කරන ලද වෙසක් සැමරුම් උත්සවයේ ප්‍රදර්ශනය කර තිබූ වෙසක් කූඩුවකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ ශිෂ්‍ය සංගමය විසින් විශේෂ නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

පීඨයේ සිංහල සිසුන් විසින් සංවිධානය කරන ලද මෙම වෙසක් උත්සවය ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුමැතිය සහ සහාය ඇතිව පවත්වා ඇති අතර, එහි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දෙමළ සිසුන් ද සක්‍රීයව දායකත්වය සහ සහයෝගය ලබා දී ඇත.

පරීක්ෂණ මට්ටමේ පවතින කිසියම් හේතුවක් මත පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් එහි තිබූ එක් වෙසක් කූඩුවකට හානි කර ඇති අතර, මෙම දේපළ හානි කිරීමේ නින්දිත ක්‍රියාව ශිෂ්‍ය සංගමය දැඩි ලෙස හෙළා දකී. ඊට වගකිවයුත්තන් හඳුනාගෙන වහාම නිසි විනය පියවර ගත යුතු බව ද ඔවුන් අවධාරණය කරයි.

කිහිපදෙනෙකු විසින් කරන ලද මෙම හුදකලා සිදුවීම සමස්ත දෙමළ ශිෂ්‍ය ප්‍රජාව පිට පැටවීමට හෝ මෙය වාර්ගික/ජාතිවාදී ගැටලුවක් බවට පරිවර්තනය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවත්, එම අසත්‍ය සහ නොමඟ යවන සුළු චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් නිවේදනයේ දැක්වේ.

පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වැරදි ක්‍රියාවන් පීඨයේ සිසුන් අතර පවතින එකමුතුකම සහ අන්‍යෝන්‍ය ගෞරවය බිඳ දැමීමට හෝ බෙදීම් ඇති කිරීමට යොදා නොගත යුතු බව ශිෂ්‍ය සංගමය පවසයි.

මේ හේතුවෙන් කිසිදු අසත්‍ය තොරතුරක් හෝ කටකතා පතුරුවා හැරීමෙන් වළකින ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කිරීමට බලධාරීන්ට ඉඩ සලසමින් සියලුම සිසුන් වගකීමෙන් සහ සහජීවනයෙන් කටයුතු කළ යුතු බවත් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *