සුද්දෝ ලංකාවෙන් යන්න කලින් වියදම් කල වැට් එකෙන් 80%ක් ආයේම අතට දෙයි

විදෙස් සංචාරකයන් මෙරට වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද වැට් බද්ද නැවත ලබා ගතහැකි (Refund) විශේෂ කවුළුවක් පෙබරවාරි මස 10 වැනිදාට පෙර කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි.එරන්ද පැවසීය.

මේ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම කවුළුව පවත්වාගෙන යන බවත්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් වැට් ගෙවූ බවට සඳහන් කරන ලද අදාළ බිල්පත් එම කවුළුවට ඉදිරිපත් කිරීමෙන් පසුව, අදාළ වැට් මුදලින් සියයට 80 ක් සංචාරකයාට නැවත ලබාදෙන බවද අධ්‍යක්ෂවරයා කීවේය.

මෙම වැඩපිළිවෙළ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වැට් බදු ගෙවන ආයතනවලින් විදෙස් සංචාරකයන් භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් පසුව නිකුත් කරන බිල්පත අදාළ කවුළුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සීගිරිය ආදී පුරා විද්‍යා ස්ථාන නැරඹීමට යන විදෙස් සංචාරකයන්ගෙන් මෙතෙක් අය කරන ලද ප්‍රවේශ පත්‍රය සඳහා අමතර ඩොලර් පහක වැට් බද්දක් ගෙවීමට විදෙස් සංචාරකයන්ට සිදුවූ අතර, එම වැට් බද්ද නැවත අය කරගැනීමටද මින් අවකාශය සැලසේ.

මෙරට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අධ්‍යක්ෂවරයා කීවේය.

එමෙන්ම, මෙලෙස බදු නැවත විදෙස් සංචාරකයන්ට අය කරගැනීමේ අවස්ථාව සලසාදීම මගින් මෙරට බදු ක්‍රමය සම්බන්ධව විදෙස් රටවල ඇගයීමට ලක්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *