මෙරට යුද්ධය පැවති අවසන් කාලයේදී හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම නැඟෙනහිර පළාත් මහ ඇමැතිවරයාව සිටි ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ කණ්ඩායම විසින් පවත්වාගෙන ගිය වධ කඳවුරට සම්බන්ධව සිටි සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිවිල් වැසියන් පැහැර ගැනීම, අතුරුදන් කිරීම, පහරදී ඝාතනය කිරීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
කිරාන්හි පදිංචිකරුවන් වන 54 හා 52 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුවන් එරාවුර් අධිකරණයට ඉදිරිපත් කර පැය 72ක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට නියෝගයක්ද ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.