ශ්‍රි ලංකාවේ ආයෝජන වැඩි කරනවා – එක්සත් අරාබී එමීර් රාජ්‍යය ජනපතිට කියයි

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යUAE) එකඟතාව පළ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser AlAmeri) මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පැවති හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ හයවන විශාලතම අපනයන වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.

ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ. අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *