අද (26) දින සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ (J.V.P.) විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (25) දින අල්ලස් චෝදනා මත අත්අඩංගුවට පත් වූ චරිත් අබේසිංහ නැමැත්තාට මීට මාස 02කට පෙර ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙස ආරාධනා කළ බවට වරුණ රාජපක්ෂ කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
පාතාල සබඳතා හා බැඳුණු අල්ලස් සිදුවීම් හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබලයට හා බංකොලොත්භාවයට පත්ව ඇත්ද යන්න මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත්, මෙවැනි අතේ රෝලක් මාධ්‍ය හමුවේ කියවීමට තරම් නිවට තත්ත්වයකට පත්වීම කණගාටුදායක බවත් එහි සඳහන් වේ.
වෙනත් පක්ෂවලට විවිධ උවමනාවන් මත පුද්ගලයන් එකතු කර ගැනීමට අවශ්‍ය වුවද, අපරාධකරුවන් තම පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජවිපෙ පවසයි.
- මෙවැනි සාවද්‍ය ප්‍රකාශ මඟින් අපරාධ සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුනු ගෑමට දරන උත්සාහය නිෂ්ඵල වන බව නිවේදනයේ දක්වා ඇත.
අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැඟීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින අතර, මෙම සාවද්‍ය ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද එම නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.