මහජනයාගේ දෛනික කටයුතු සඳහා භාවිත කෙරෙන ප්‍රමුඛතම පොදු ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය ප්‍රවාහනය බව අවිවාදිතය. එය මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල තත්ත්වයද එසේමය. මෙරට ගත හොත් විශේෂයෙන් කාර්යාලවල රාජකාරි ඇරඹෙන පෙරවරුවේ සහ රාජකාරි අවසන් වන පස්වරුවේ කාර්යාල දුම්රියන්හි දෛනිකව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹ ඇතුළු තදාසන්න නගරවලට යන-එන බව දිස් වේ.
එලෙස කොළඹ නගරයට පමණක් දෛනිකව දුම්රිය භාවිත කරමින් හාරලක්ෂ විසිදහසක පමණ ජනකායක් උදේ-හවා යන එන බව දුම්රිය දෙපාර්තමේන්තු දත්තවලින් පිළිබිඹු වේ. එලෙස විශාල ජනකායකට කොළඹ නගරයට ඒමට සහ කොළඹ නගරයෙන් නැවත පිටවී ගම්බිම් කරා යෑමට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් දිනකට ගමන් වාර 311ක් පමණ ක්‍රියාත්වක වේ.
එලෙස දුම්රිය ඔස්සේ පළමු පන්තිය, දෙවැනි පන්තිය, තුන්වැනි පන්තිය ටිකට්පත් මෙන්ම කලින් වෙන් කළ ආසන ප්‍රවේශපත් සහ මාසික වාර ප්‍රවේශපත් ලෙස ලබා ගෙන ඇති ප්‍රවේශපත්‍ර මඟින් ජනතාව දුම්රියේ නීත්‍යානුකූල ලෙස ගමන් ගනිද්දී; ඒ කිසිදු වලංගු ප්‍රවේශපත්‍රයක් හෝ නැතිව දෛනිකව දහස් සංඛ්‍යාත ජනකායක් ගමන් ගන්නා බවද දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
මීට කලකට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් කළ පර්යේෂණයක් මඟින් කොළඹ නගරයට දුම්රිය ප්‍රවාහනය ඔස්සේ ඇදී එන ජනයාගෙන් 20%ක පමණ ප්‍රමාණයක් වලංගු ප්‍රවේශපතක් නැතිව හොර රහසේ ගමනාගමනයේ යෙදෙන බව අනාවරණය වී තිබේ. ඇතැම් විට ඒ පර්යේෂණයේ සංඛ්‍යා දත්ත ඊට බොහෝ වැඩි විය හැකි අවස්ථාද නැතුවාම නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඒ අනුව වලංගු ප්‍රවේශපතක් නැතිව දුම්රියේ ගමන් කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වන ආදායමද ලක්ෂ ගණනක් බව ගණන් බලා ඇත.
ඉකුත්දා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ ප්‍රධාන ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න සහ නියෝජ්‍ය අධිකාරි ජී.ඩබ්ලිව්. සුමිත්ගේ උපදෙස් මත සහකාර අධිකාරි (දකුණ) කපිල කළුබෝවිලගේ අධීක්ෂණයෙන් කාර්යභාර නිලධාරි (රත්මලාන) නිමල් ගුණරත්නගේ මෙහෙයවීමෙන් දුම්රිය ප්‍රවේශපත් පරීක්ෂාවක් සිදු කර තිබුණේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ මහලේකම් කාර්යාල යන දුම්රිය නැවතුම් ස්ථාන මුල්කරගෙනය. පෙරවරු 6 සිට 8 දක්වා පැය දෙකක පමණ කාලය තුළදී දුම්රිය ආරක්ෂක නියාමකයන් 25 දෙනකු යොදවා සිදුකළ එම හදිසි වැටලීමෙන් වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන් 37 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. එලෙස හොර රහසේ දුම්රියේ ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නිසා දඩ ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට අය කරගෙන තිබූ මුදලද රුපියල් 112,480කි.
සාමාන්‍යයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් එලෙස දුම්රිය මැදිරි පරීක්ෂා කරන්නේ ඔවුනගේ නිල ඇඳුමෙන් සැරසී වුවත් මෙවර එම වැටලීම සිදු කර තිබුණේ සිවිල් ඇඳුමෙන් සැරසීගෙනය. ඒ, දුම්රිය ආරක්ෂක අංශයට තොරතුරක් ලැබී තිබුණේ එලෙස දුම්රියේ හොර රහසේ ගමන් ගන්නා මගීහු වට්ස්ඇප් සමූහ නිර්මාණය කොට ඒ ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නා බවයි. එබැවින් ආරක්ෂක නිලධරයන් සිවිල් ඇඳුමින් සැරසී වැටලීම සිදු කර තිබිණි. එලෙස නිර්මාණය කරගෙන ඇති වට්ස්ඇප් සමූහ ඔස්සේ දුම්රිය අතරමඟකදී ආරක්ෂක නිලධාරින් ප්‍රවේශ පත් පරීක්ෂාවේදී ඒ බව මුලින්ම දැනගන්නා පුද්ගලයා වට්ස්ඇප් සමූහයට කෙටි පණිවිඩයක් යොමු කරමින් සියලු දෙනාම සැණින් දැනුවත් කර තිබිණි. දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසන්නේ එලෙස නිර්මාණය කර ඇති දුම්රියේ හොරෙන් ගමන් කරන පුද්ගලයන්ගේ වට්ස්ඇප් සමූහ රැසක්ම ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. එසේම එලෙස නිර්මාණය කර ඇති ඇතැම් වට්ස්ඇප් සමූහවල හොරෙන් යන මගීන්ගේ එකතුව දහස ඉක්මවා සිටින බවත් සැල වන බවකි.
එසේ නිර්මාණය කර ඇති සමාජ ජාලා මඟින් දුම්රිය ආරක්ෂක නිලධාරින් ටිකට්පත් පරීක්ෂා කරන බව දැනගත් සැණින් හොරෙන් යන එන මගීන් දුම්රියේ ආසනවල හෝ සිටගෙන සිටී නම් දුම්රියෙන් බැස පදික වේදිකාවේ රැඳීමට කටයුතු කරන බවද දිස් වේ. එසේම මෙකී වට්ස්ඇප් සමූහ හරහා වලංගු ටිකට්පතක් නැතිව දුම්රියේ ගමන් කිරීමට අදාළ තවත් බොහෝ අකටයුතුකම් සූක්ෂ්ම ලෙස සිදු කරගන්නා බවත් එම වැටලීමේදී බම්බලපිටියේදී අනාවරණය වූ වට්ස්ඇප් සමූහය හරහා හෙළිදරවු වී තිබේ.
මෙලෙස දුම්රියේ වලංගු ප්‍රවේශ පත්‍රයක් නැතිව ගමන් කිරීම පිළිබඳ අප කළ සොයා බැලීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න අපට මෙලෙස අදහස් දැක්වීය:
“හොරෙන් දුම්රියේ යන මිනිස්සු වට්ස්ඇප් සමූහ හදාගෙන බව අපට අනාවරණය වුණා. මේ අය අපි එක තැනක චෙක් කරන කොට ගෘෘප් එක හරහා හැමෝම දැනුම්වත් කරනවා. හැබැයි අපි නිතරම වගේ වැටලීම් කරලා හොරෙන් යන අය අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා…”
තවදුරටත් අදහස් පළ කළ අනුර ප්‍රේමරත්න සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේම ආරක්ෂක අංශය සඳහා නිලධාරීන් 714ක් සිටිය යුතු වුවත් දැනට සිටින නිලධාරීන් සංඛ්‍යාව 393ක් බවද හෙළි කළේය.
කෙසේ හෝ රටේ මහජනයාගේ පොදු දේපළක් වන දුම්රිය දෙපාර්තමේන්තුව රැකගැනීම දුම්රියේ ගමන් කරන මගීන්ගේ ද පරම යුතුකමකි. ඇතැම් මගීන්ට පවත්නා එකම ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ද දුම්රියයි. එලෙස දුම්රිය පමණක් එකම ප්‍රවාහන මාධ්‍යය ලෙස පවත්නා ඇතැම් මගීන් ද හොරෙන් යන බව වාර්තා වේ.
“මේ මිනිස්සු වට්ස්ඇප් ගෘෘප් හදලා හොරෙන් යන එක නෙවෙයි කරන්න ඕනෑ… බස් ගාස්තුවලින් සියයට පනහයි අපේ අය කිරීම. ඒක නිසා මහජනයාට වගකීමක් තියෙනවා සහනදායි මිලකට ලබාගන්නා මේ සේවාවට නියම කරලා තිබෙන ගෙවීම් කරන්න…” යි කී ප්‍රධාන දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න ඒ සඳහා සමස්ත රටවැසියාගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව ද අවධාරණය කළේය.
නිසි ලෙස මාසික ගමන් වාර ප්‍රවේශ පත්‍රයක් රැගෙන දිනපතා මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹ කාර්යාලයක රැකියාවකට පැමිණෙන මගීයෙක් අපට කීවේ අපූරු කතාවකි:
“කෝච්චියේ ටිකට් නැතිව හොරෙන් යන-එන අය කණ්ඩායම් හැදිලා යන්නේ-එන්නේ… එයාලා පඩි ගත්තම පර්ස් එකේ වෙනම රුපියල් හාරදාහක් තියා ගන්නවා. ඒක කෝච්චියේ එන හැම වෙලාවෙම ඒ අය ළඟ තියෙනවා… බැරි වෙලාවත් චෙකර්ලා පැන්නොත් දඩේ ගෙවලා බේරෙනවා… නැත්නම් ඒ කණ්ඩායම් කරන්නේ පඩි දවස කිට්ටු කරලා අර පර්ස් එකේ තියාගෙන හිටිය රුපියල් හාරදාහ අරගෙන හැමෝම එකතු වෙලා මත්පැන් පාටි දාන එක… මං වගකීමෙන් කියන්නේ… ඔය මුහුදුබඩ මාර්ගයේ දුර ඉඳන් එන ට්‍රේන් ටික මාසෙකට දවසක්වත් හරියට චෙක් කෙරෙන්නෙම නෑ… එහෙම මාසෙකට දවස් දෙක තුනක් චෙක් කළා නම් ඔය කට්ටියම අහු වෙනවා… එතකොට ඔය හාරදාහ මාසෙකට දෙතුන් වතාවක් ගෙවන්න බෑ නේ… ඔය කණ්ඩායම්වල හැමෝම දන්න කාලේ ඉඳන් යන්නෙම හොරට…” යැයි කී අපට අදහස් දැක්වූ එම කාර්යාල සේවකයා එවැනි පිරිස් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට අතිමහත් පාඩුවක් සිදු වනවා සේම නීත්‍යනුකූලව ගමන් ගන්නා මගීන්ටද එකී කණ්ඩායම්හි ‘පවු ගෙවීමට’ සිදුව ඇති බවද කීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ
ප්‍රධාන ආරක්ෂක අධිකාරි
අනුර ප්‍රේමරත්න
මෑතකදී පැමිණි Pravesha.lk වෙබ් අඩවියට ගොස් බැංකු කාඩ්පත් ඔස්සේ ගෙවීම්කොට දුම්රියේ පැමිණෙන අතරමඟදී අදාළ පුද්ගලයාට හෝ වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් වුව ප්‍රවේශපත් ලබා ගැනීමට හැකි ‘ඊ ටිකට්’ සේවාව මඟින්ද දුම්රියේ හොරෙන් යෑම වැඩි වී ඇතැයි දුම්රිය මගීහුම චෝදනා කරති. උදාහරණයක් ලෙස: ඇතැම් දෙනා ගාල්ල, මාතර, නුවර ආදි ඈත පළාත්හි දුම්රිය ස්ථානයකින් දුම්රියට ගොඩ වුවද අතරමඟදී ප්‍රවේශ පත් පරීක්ෂා කරන බව සැල වුව හොත් පමණක් ක්ෂණයෙන් ක්‍රියාත්මක වී ඊ ටිකට්පත් ගෙන දුම්රියේ ටිකට්පත් පරීක්ෂකවරුන්ට මුණගැසෙන වේලාව ප්‍රමාද කරමින් සූක්ෂ්ම ක්‍රියා සිදු කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවට වංචා කරන බවයි. දුම්රිය ආරක්ෂක නිලධාරීන් නොපැමිණිය හොත් එලෙස වලංගු ටිකට් පත් නොගෙන දුම්රියේ පැමිණෙන අය කිසිම අපහසුවකින් තොරව ගමනාන්තය දක්වා ගමන් කරන බවත් සැල වේ.
“ඔය ඊ ටිකට් සේවාවේ කොටසයි තවම ක්‍රියාත්මක… මිනිස්සු ඒක අවභාවිත කරනවා… තව කොටස් තුනක් ඊ ටිකට් සේවාවට එක් විය යුතුයි. ඒ මඟින් ප්‍රධාන දුම්රිය ස්ථානවල ගේට්ටු විවෘත වීමට කිව්ආර් කෝඩ් ස්කෑන් ක්‍රමය පැමිණෙනවා. එය පිටරටවල ක්‍රියාත්මකයි. ඒ සිස්ටම් එක ආ සැණින් මගීන් කිව්ආර් කෝඩ් එක ස්කෑන් කරලයි දුම්රිය ස්ථානයට ඇතුළුවිය යුත්තේ… දුම්රිය ස්ථානයට ඇතුළුවීමට පෙරයි ටිකට් ගත යුත්තේ… අතරමඟදි ටිකට් ගන්න බෑ…” යි ප්‍රධාන දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පැවසීය.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රියන්හි ප්‍රවේශපත්‍ර පරීක්ෂා කළ දිනට පසු දින දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් කවුළුවල පෝලිම් දිගු වීම සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ හෝ නීතියෙන් නැත්නම් ආකල්පමය ලෙස හෝ නව තාක්ෂණය පැමිණෙන තෙක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන ලක්ෂ ගණනක පාඩුව පියවා ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීහුද කටයුතු කරමින් සිටිති.
දුම්රියක වලංගු ප්‍රවේශ පත්‍රයක් නැතිව ගමන් කිරීමේ වරදද සුළුපටු නොවේ. දඩයක් ගෙවා නිදහස් වී යෑමට අවස්ථාව තිබුණද ඇතැම් අවස්ථාවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට සිරදඬුවම් වුවද විඳිය හැකි බව දුම්රිය ප්‍රධාන ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න අවධාරණය කර සිටී:
“සාමාන්‍යයෙන් දුම්රියක වලංගු ටිකට්පතක් නැතිව ගියොත් ඒ දුම්රිය ගමනාන්තය දක්වා ටිකට් පතේ මිල මෙන් දෙගුණයක් සහ රු. 3,000ක් දඩ ලෙස ගෙවිය යුතුයි. එහෙම දඩ ගෙවන්න බැරි වුණොත් ඔවුන්ගේ ළඟ තිබෙන වටිනා දෙයක් අපි ගන්නවා… ඒ සඳහා අපි පෝරමයක් දෙනවා ඔවුන් එම භාණ්ඩ සිය කැමැත්තෙන් තබා යන බවට සහතික කර ගැනීමට… බැරි වෙලාවත් ඒ භාණ්ඩ ගෙනියන්න ආවේ නැත්නම් අපි කාලසීමාවකට යටත්ව අපගේ භාණ්ඩ නැති වීම් අංශයට යොමු කරලා වෙන්දේසි කරලා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ අලාභය පියවාගන්නවා. එහෙම නැති වුණොත් අපි ටිකට් පතක් නැතුව ආපු කෙනෙක්ගෙන් ඇප බැඳුම්කරයක් අත්සන් කරගන්නවා. එයා ඊට අදාළ දිනයට ආවේ නැත් නම් අධිකරණයේ නඩුවක් පවරලා ගෙදරට සිතාසි යවනවා. ඒ විදිහට දුම්රිය ආඥා පනත අනුව අධිකරණයට ඉදිරිපත් කළොත් දඩ මුදල රු. 1000යි. ඒ වගේම මසක සිර දඬුවමක් වුණත් හිමි විය හැකියි,”යි කී දුම්රිය ප්‍රධාන ආරක්ෂක අධිකාරී මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි දඩය සහ සිරදඬුවම් යන දඬුවම් දෙකම වුවද පැනවිය හැකි බවද පැවසීය.
දුම්රියක වලංගු ප්‍රවේශපත්‍රයක් නැතිව ගමන් කිරීමේ ආදීනව හොඳහැටි නීතියෙන්ද පිළිබිඹු වේ. ඇතැම් දෙනා අදාළ දිනට වලංගු නොවන, දිනය නිසි ලෙස නොපෙනෙන ප්‍රවේශපත් රැගෙන දුම්රියේ ගමන් කිරීමට පෙලඹෙන්නේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ද නොමඟ යැවීමේ අටියෙන් නොයෙක් තර්කද ගෙනහැර පාමිනි.
“ඒ වගේ හොර ටිකට් අරන් එන අය කියන්නේ ටිකට් කවුන්ටරේ නිලධාරීන් හරිහැටි දිනේ ප්‍රින්ට් කරලා දුන්නේ නෑ වගේ අනංමනං කතා… ඒ වගේම එවැනි අවස්ථාවල ඒ අය මුළු රේල්වේ එකටම වැරැද්ද පටවන්න හදනවා… නිසි වෙලාවට ටිකට් දුන්නේ නෑ… නැත්නම් ටිකට් එක යාළුවෙක් ගාව වගේ නොයෙක් බොරු කියනවා… ඒ වගේම දිනේ හරියටම ප්‍රින්ට් වුණේ නැති වුණාට ඒ ටිකට් නිකුත් කළ දුම්රිය ස්ථානයේ අදාළ දිනයට අයත් ටිකට් අංක පරීක්ෂාවෙන් ටිකට් පත නිකුත් කළ දිනය සොයාගත හැකියි.”
නීතියෙන් නැති නම් තාක්ෂණයෙන් හෝ මොන තරම් වැටකඩුලු බාධක දමා හෝ දුම්රියෙහි වලංගු ප්‍රවේශ පත්‍රයක් නැතිව ගමන් කරන්නන්ට එරෙහිව දුම්රිය ආරක්ෂක නිලධාරීන් ක්‍රියාත්මක වුවත් තමන්ගේ ජීවිතයට ඉමහත් වූ සේවාවක් ඉටු කරන නැති නම් ඇතැමකුගේ එකම ප්‍රවාහන මාධ්‍යය වන දුම්රිය සේවාව රැකගැනීමට මගීන්ද ආකල්පමය වශයෙන් වෙනස් වී හෘදයසාක්ෂියට අනුව කටයුතු කළ යුතු බව අපිද අවධාරණය කරන්නෙමු.