උමන්දාව වෙනස් බෞද්ධ සිද්ධස්ථානයකි. ප්‍රධාන වාහල්කඩේ සිට ම වෙනස් ය. එම වෙනස අත්විඳීමට දිනකට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන බව වාර්තා වේ. තව පිරිසක් උමන්දාව ගම්මානය දැක බලාගැනීමට පැමිණෙති. මේ දෙකම පිහිටා ඇත්තේ එකම ස්ථානයක ය. උමන්දාව වෙනස් තැනක් ලෙස අප හැඳින්වූයේ ඒ නිසා ය. මෙරට වෙනස් බෞද්ධ සිද්ධාස්ථානයක් ලෙස සමාජගත වී ඇති උමන්දාව ලෝක පූජිත කිරීම වස් ලෝකයේ දෙවැනි විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරමින් තිබෙන බව ද වාර්තා විය. බුරුම රටේ නිර්මාණය කර ඇති ලොව විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරගැනීමට නොහැකි මෙරට බොහෝ බෞද්ධයන්ට ලොව දෙවැනි විශාලතම සැතපෙන බුදුපිළිම වහන්සේ මෙරට දී වන්දනා කර ගැනීමට ලබන වසර වනවිට අවස්ථාව ලැබෙන බව ද වාර්තා විය. දැන් අප උමන්දාවට පැමිණියේ එම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන ආකාරය දැක බලාගැනීමට ය.
ප්‍රධාන වාහල්කඩෙන් ඇතුළු වූ අපට ප්‍රථමයෙන් දැකගැනීමට ලැබුණේ බෝධීන් වහන්සේ ය. උන්මදාව පින්බිමේ ගොඩනැඟිලි ඉදිකිරීමට පෙර බෝධීන් වහන්සේ රෝපණය කර ඇත්තේ වසර අටකට පෙරය. දෙවනුව දැකීමට ලැබුණේ මැණික් වෙහෙර චෛත්‍ය වහන්සේ ය. අඩි එකසිය විස්සක් උස එම චෛත්‍ය ගර්භය ඇතුළත නිර්මාණය කර ඇත්තේ ඕලු මලක හැඩයට ය. ගර්භය තුළ කුඩා චෛත්‍ය වහන්සේ ඇතුළත ආරක්‍ෂිතව කෞතුක භාණ්ඩ රාශියක් තැන්පත් කර තිබෙන අයුරු පෙනේ. ගර්භය වටා අලංකාර චිත්‍රවලින් ද හැඩ කර තිබේ. කිරි බුබුළක් සේ බැබළෙන චෛත්‍ය වහන්සේට සමීපයෙන් ලෝකයේ විශාලතම දෙවැනි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වෙමින් පවතී. නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් ලහි, ලහියේ වැඩවල නිරත වී සිටින අයුරු පෙනේ. මේ වනවිට බුද්ධ ප්‍රතිමාවේ විශාල වැඩ කොටසක් නිම වී තිබෙන අයුරු ද පෙනේ. සම්පූර්ණ වැඩ නිම වනවිට අඩි 145ක් පමණ දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සමන්තභද්‍ර නායක හාමුදුරුවන්ගේ පනස් වන ජන්ම දිනය දා සම්බුද්ධ ශාසනයට පූජා කිරීමට සැලසුම් කර තිබෙන බව ද වාර්තා වේ.

මෙවැනි විශාල බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වන අයුරු දැකීමට ලැබීම ද පිනකි. ඒ භාග්‍යය උදා වී තිබෙන මේ මොහොතේ පිළිම වහන්සේ වටා ඇවිදිමින් රිසි සේ එය නැරඹීමට අපි උත්සුක වීමු. උමන්දාව විහාරස්ථානයේ වැඩ සිටින ධම්ම චක්කු හාමුදුරුවෝ ද අප සමග වැඩම කරමින් ඉදිවෙමින් පවතින ලොව දෙවැනි විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන පමණක් නොව, උමන්දාවේ පිවිසුම් දොරටුවේ සිට සියලු විහාරංග, උමන්දාව ගම්මානයේ කෙරෙන විවිධ ව්‍යාපෘති සියල්ල සවිස්තරාත්මකව විස්තර කළහ.
“මේ සැබෑ වෙමින් පවතින්නේ සමන්තභද්‍ර නායක හාමුදුරුවන්ගේ සිහිනයක්. උමන්දාව බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට සැලසුම් කරන කාලයේ දීම තමයි, මේ පිළිම වහන්සේ නිර්මාණය කිරීමට සිහින දැකලා තියෙන්නේ. විශාල මුදලක් වියදම් වෙන පින්කමක්. රුපියල් කෝටි පනහක් ඇස්තමේන්තුගත කරලා තියෙනවා. රුපියල් කෝටි පනහක් වියදම් කරලා පිළිම වහන්සේ නිර්මාණය කර උන්වහන්සේගේ පනස් වන ජන්ම දිනය යෙදී තිබෙන ලබන පෙබරවාරි මාස ශාසනයට පූජා කරනවා. මේ මෙහෙණින් වහන්සේ තමයි උමන්දාවේ තණකොළ වගා කරන්නේ. වයස අවුරුදු 75ක්. තවම හොඳට වැඩ කරනවා…” ධම්ම චක්කු හාමුදුරුවෝ නිර්මාණය වෙමින් පවතින බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට තණකොළ හිටුවන මෙහෙණින් වහන්සේනමක් අපට හඳුන්වාදුන්නහ. එහෙත් මෙහෙණින් වහන්සේ සමග කතාබහ කිරීමට අපට අවස්ථාවක් නොලැබිණි. කරන වැඩේ නතර කළ කතාබහා කිරීමට මෙහෙණින් වහන්සේ කැමැත්තක් නොදැක්වූහ.
“මේ බුද්ධ ප්‍රතිමාව ඇතුළත උමං විහාරයක් නිර්මාණය කෙරෙනවා. ඒ තුළ බුදුපිළිම නිර්මාණය කරනවා. සිතුවම් අඳිනවා. යට කොටස පුස්තකාලයක්. පුස්තකාලය උඩ නෙළුම් මලක් මත තමයි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කෙරෙන්නේ. මේ බුද්ධ ප්‍රතිමාව පමණක් නෙමෙයි, උමන්දාවේ සියලු නිර්මාණ, වර්ණ සංකලනය, උද්‍යාන අලංකරණය සියලුම දේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ අදහස්වලට අනුව සිදු කෙරෙන්නේ. දැන් අපි ඉන්නෙ උමං විහාරය ඇතුළෙ බුදුරාජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී පාදය තුළ…” ධම්ම චක්කු හාමුදුරුවෝ පියගැට පෙළ වඩින අතරේ අපට එසේ පැහැදිලි කළහ. අප එම උමං විහාරයට යනවිට චිත්‍ර ශිල්පියෝ සිතුවම් අඳිමින් සිටිති. මූර්ති ශිල්පියෙක් හිටි පිළිම වහන්සේගේ හැඩතල නිර්මාණය කරමින් සිටියේය. විවිධ වෘත්තිකයන් විවිධ වැඩ කොටස්වල නියැළී සිටිය ද විහාර ගෙය තුළ පිළිවෙළ ය. පිරිසිදු ය. තැන, තැන බඩු මුට්ටු නැත. නිර්මාණ ශිල්පීන් වුවද රාජකාරිය පිළිවෙළට කරන අයුරු දැකගැනීමට ලැබේ. හිඳි පිළිම වහන්සේගේ හැඩ තල නිර්මාණය කරන ශිල්පියා අසල අපි නතර වීමු. මොහොතකට වැඩ නතර කළ ඔහු අප සමග කතාබහ කළේය. හේ චමින්ද සම්පත් ය. ගම පන්සියගමය. උමන්දාවට අල්ලපු ගමය. වයස අවුරුදු හතළිස් තුනකි. තිදෙරු පියෙකි.

“මේ වැඩ ඉගෙන ගත්තෙත් උමන්දාවේ වැඩට ඇවිත්. මුලින්ම ආවේ විෂ්ණු කෝවිලේ වැඩට. වැඩි කාලයක් යන්න පෙර මම සාස්තරය අල්ල ගත්තා. දැන් මම තනියෙන් වැඩ කරනවා. දවසකට අපිට හොඳ වැටුපක් ගෙවනවා. මේ විහාරයේ වැඩ කරන ගොඩක් අය අවට පදිංචිකරුවෝ. ඒක ගමේ මිනිස්සුන්ටත් සෙතක්…” ඔහුගේ කතාවට බාධා කරමින් ධම්ම චක්කු හාමුදුරුවෝ නැවත හඬ අවදි කළහ.
‘මේ ප්‍රතිමා නිර්මාණයන් ඕනෑම කෙනෙක්ට භාරගෙන කරන්න පුළුවන්. රුපියල් ලක්‍ෂ 10, 15ට ප්‍රතිමා නිර්මාණ භාර ගන්න පුළුවන්. මේ වෙනකොට ගොඩක්ම ප්‍රතිමා නිර්මාණයන් අපේ දායකයෝ භාරගෙන. තව කිහිපයක් තියෙනවා. චිත්‍ර කිහිපයකුත් තියෙනවා. මිනිස්සු හරිම උනන්දුවෙන් මේ පින්කම්වලට දායකත්වය ලබාදෙනවා…” උමං විහාරයෙන් පහළට බැස්ස අපි කොන්ක්‍රීට් ගල් ඇතිරූ මඟ ඔස්සේ උමන්දාව නවෝත්පාදන මධ්‍යස්ථානය දෙසට ඇවිද ගියෙමු.
උමන්දාවේ නිෂ්පාදනය කෙරෙන සියලුම භාණ්ඩ එම වෙළෙඳ කුටිය තුළ අලෙවියට තබා තිබේ. ඒ අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන රාශියකි. දේශීය සහල්, ධාන්‍ය වර්ග කිහිපයකි. මුළුතැන්ගෙට ඇවැසි කුළුබඩු වර්ගවලින් රාක්ක දෙකක් පිරී තිබේ. විවිධ කැඳ වර්ග ඇසුරුම් කර ඇති අයුරුත් සිත් ගන්නාසුලු ය. රාක්ක කිහිපයක පෙළට තබා තිබෙන වරකා, පැපොල්, කෙසෙල් බඩ, සූකිරි, වට්ටක්කා ටොෆි, බතල දෝසි ඇතුළු රසකැවිලි පැකට්, බාහලුම් දකිනවිට මුවට කෙළ උනන තරම් ය. තල, කුරුඳු, කෝපි, නයි මිරිස්, සූදුරු චොකලට් පෙර නොදුටු චොකලට් ය. කෙසෙල්, අඹ බයිට්, බඩඉරිඟු පිටිවලින් නිෂ්පාදනය කරන ලද මුරුක්කු ඇතුළු බයිට් වර්ග රාශියකි. පසෙක රාක්කයක වරකා, වට්ටක්කා, කැකිරි, නිල් කටරොළු ලබු ජෑම් ඇතුළු විවිධ ජෑම් වර්ගය. කුරුඳු බීම, කහ බීම, විජලනය කරන ලද නිල් කටරොළු මල්, කොස්, පොළොස් ඇතුළු ආහාර වර්ග රාශියක් ද වේ. මුරුංගා, කුරක්කන්, සුවඳැල් සහල්, ෆැස්ටා ඇතුළු කල් තබාගත හැකි ටින් කරන ලද විවිධ කරි වර්ග ද කිහිපයක් එම වෙළෙඳ කුටිය තුළ දකින්නට ලැබිණි. තක්කාලි, සියඹලා, බිලිං, නයි මිරිස්, අමුමිරිස්, ගම්මිරිස්, ඇඹරැල්ල සොස් වර්ග කිහිපයකි. පිටි කරන ලද දේශීය අල වර්ග, කොස් ඇට පිටිවලින් නිෂ්පාදනය කරන ලද නූඩ්ල්ස් පැකට් දකිනවිට අප විශ්මයට පත් විය. ඒ සියලුම නිෂ්පාදනවලට වස විස කිසිවක් අඩංගු නැති කාබනික ආහාර බව ධම්ම චක්කු හාමුදුරුවෝ පවසනවිට සිත සතොසෙන් පිරිණි.
“මේ වෙළෙඳ මධ්‍යස්ථානයේ දේශීය ව්‍යසායකයන්ගේ නිෂ්පාදනත් තියෙනවා. අපේ ආයතනයෙන් ඉගෙන ගෙන තනියෙන් ව්‍යාපාර කරන අයගේ නිෂ්පාදනත් තියෙනවා. සෑම නිෂ්පාදනයක්ම සෞඛ්‍යාරක්‍ෂිතයි. සියයට 100ක්ම වස විසෙන් තොරයි. දේශීය ඖෂධ වර්ගත් රාශියක් තියෙනවා. කුරුඳු, මුරුංගා, කහ කැප්ෂූලවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. බෝ නොවන රෝග කිහිපයකට කුරුඳු කැප්ෂූල හොඳ ඖෂධයක්. මේවා උමන්දාවේ නිෂ්පාදන. මේ තියෙන්නේ නිෂ්පාදන ආයතනය…” ධම්ම චක්කු හාමුදුරුවෝ වීදුරුවලින් ආවරණය කරන ලද විසල් ශාලාවක් අපට පෙන්වූහ. මෙහෙණින් වහන්සේ කිහිපනමක් සමග කාන්තාවන් විශාල පිරිසක් එහි සේවය කරන අයුරු පෙනේ. එම සේවකයන් අතර විශ්‍රාමික වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු ද සිටින බව ධම්ම චක්කු හාමුදුරුවෝ පැවසූහ.

සල්පිල, හිමකිරම, බීම අලෙවිසැල පිළිවෙළට පසු කරගෙන යන අපට උමන්දාවේ තොරතුරු කාර්යාංශය දැකගැනීමට ලැබිණි. පැමිණෙන සෑම කෙනකුට ම තොරතුරු කාර්යාංශය තුළ දී උමන්දාව පිළිබඳව පමණක් නොව, කෑම කන පිළිවෙළ සිට යහපත් ජීවන රටාවකට ඇවැසි තොරතුරු පැහැදිලි කරනු ලැබේ. එමෙන්ම උමන්දාවේ ඒ ඉසව්ව අතිරමණීය පෙදෙසකි. කුඩා වැව අසල ධර්මශාලාව, ‘ශීත මාලිගය’ බුදු මැඳුරට කියන නම ය. උමන්දාවේ කතරගම දේවාලය ‘රන් වේලායුද මණ්ඩපය’ පිහිටා ඇත්තේ වැව ඉස්මත්තේ ය. වැව මැදින් වැටුණු බ්‍රහ්ම සේතුව පාලමෙන් එගොඩ වූ අපි උමන්දාවේ කඳු මුදුන දෙසට ගමන් ආරම්භ කළෙමු. පැරැණි බෝධීන් වහන්සේ දෙනම පසු කරගෙන යන අපට මෙහෙණියාරාමය හමුවිය. එය නම් කර ඇත්තේ ප්‍රජාපති සෙනසුන ලෙස ය. මෙහෙණියාරාමය ආසන්නයේ උමන්දාවේ ප්‍රධාන මුළුතැන්ගෙය පිහිටා තිබිණි. මුළුතැන්ගෙයි ඉඳුල් වතුර පිරිපහදු කර බෙදාහරින මධ්‍යස්ථානය ද ඒ ආසන්නයේම පිහිටා තිබේ. ඉඳුල් භාවිත කර ජීව වායු නිෂ්පාදන ඒකකයක් ද ඒ ආසන්නයේ පිහිටා තිබේ. විසල් කහ වගාව කෙළවරේ ‘විශ්‍රාම ගම්මානය’ පිහිටා තිබේ. විශ්‍රාම සුවයෙන් සිටින ඕනෑම කෙනෙකුට බණ, භාවනා කරමින් ජීවිතයේ සැදෑ සමය ගත කිරීමට ඇවැසිනම් එම ගම්මානයේ තම වියදමින් නිවසක් සාදාගෙන ජීවත් වියහැකි ය. එම ගම්මානයේ ජීවත්වන බහුතරය, විශ්‍රාමික වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු ය. කොමඩු, බටු, මෑකරල් වගා බිම් පසු කරගෙන ඉදිරියට යනෙන අපට ගිමන් හලක් හමුවිය. ඖෂධීය පාන වර්ග, උමන්දාවේ නිෂ්පාදනවලින් එම අලෙවිසැල ද පිරී තිබිණි.
හනුමාන් ප්‍රතිමාව අසලින් ආරම්භ වන විෂ්ණු නාරායන පියගැට පෙළ ඔස්සේ උමන්දාවේ කන්දට නැඟිය හැකිය. එහෙත් කුරුඳු, කෝමාරිකා වගා බිම් පසු කරගෙන පාර දිගේ කඳු ගැටය තරණය කිරීම අපගේ අදහස විය. ගමන තරමක් අසීරුය. වකගැසුණු මාර්ගය දුර ය. ගමන විඩාබරය. එහෙත් කඳු වළල්ලකින් වට වූ උමන්දාව කඳු ගැටය මතට පෙනෙන අවට සොබාසිරිය නෙත් පිනවනසුලු ය. පිටසක්වලුන්ගේ නවාතැන්පළ යනුවෙන් ද එම ඉසව්ව හඳුන්වනු ලැබේ. නාඋයන ආරණ්‍ය සේනාසනය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් ඈතින්, ඈතට හොඳින් දර්ශනය වන ඒ ඉසව්වේ දී ගතට දැනෙන සුවය කියා නිම කළ නොහැකි තරම් ය. එම කඳු ගැටය මත පිහිටි අහස් වෙහෙර චෛත්‍ය වහන්සේ පිටුපස නීල වර්ණයෙන් සුදිලෙන ශාන්ති මණ්ඩපය හාස්කම්වලින් පිරුණු තැනක් බව උමන්දාවට යනෙන මඟ වෙළෙඳසැලක ව්‍යාපාරිකයෙක් ද අපට කීවේය.

“ශාන්ති මණ්ඩපය කොටස් දෙකකින් සමන්විතයි. පිටත කොටස විෂ්ණු දෙවියන්ගේ. ඇතුළත කොටස කල් කී දෙවියන්ට. විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවල අන්තිම අවතාරය කල් කී දෙවියෝ. කලියුගයේ දී තමයි කල් කී දෙවියෝ පහළ වෙන්නේ. කලියුගය කියන්නේ මේ යුගයට. මේ යුගයෙන් පසු ලෝකය විනාශ වෙනවා. ශාන්ති මණ්ඩපය වටා නිර්මාණය කරලා තියෙන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාර. මේ ආකාරයෙන් විෂ්ණු දස අවතාර නිර්මාණය කරලා තියෙන තවත් තැනක් ලංකාවේ නැති තරම්. ඒ වගේම විෂ්ණු රංගනාථ ස්වාමී ප්‍රතිමාව සුවිශේෂයි. කිරි සයුරේ අනන්ත නම් නාග රාජයෙක් මත විෂ්ණු දෙවියෝ හාන්සි වෙලා ඉන්න අයුරු දැක්වෙන ප්‍රතිමාව. විෂ්ණු දෙවියෝ මේ අයුරින් ඉන්නෙ මිනිසුන්ගේ දුක අහන්න බලාගෙන. විෂ්ණු ප්‍රතිමාවේ දෙපා නැමැඳ භක්තියෙන් දුක කියනවිට විෂ්ණු දෙවියෝ පිහිට වන බව හින්දු බැතිමතුන්ගේ අදහසක්. මහත්තෙලාටත් ප්‍රශ්න තියෙනවානම් විෂ්ණු දෙවියන්ට කියන්න…” ධම්ම චක්කු හාමුදුරුවෝ සිනහාමුසුව අපට පැවසූහ.
පත්තිනි දේවාලය, දැඩිමුණ්ඩ දේවාලය, ගලේ බණ්ඩාර දේවාලය පිළිවෙළට වැඳ පුදාගත් අපි වැලි මළුවෙන් පහළට බැස්සෙමු. භාවනා කිරීමට කැමැති ගිහි, පැවිදි දෙපාර්ශ්වයට අංගසම්පූර්ණ කුටි කිහිපයක් ද එම කඳුගැටය තුළ ස්ථාපිත කර තිබේ. වෘත්තාකාර ඒ කාමරවල බාහිර ස්වරූපය ද වෙනස් ය. මල්, පලතුරු, එළවළු පාත්ති අතරින් පහළට බැස්ස අපි කෝපි කඩේ නතර වී රසවත් කෝපි කෝප්පයක් තොල ගෑ වෙමු.