2022 වසරේ සිට තාවකාලිකව ඇනහිට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට චීනය එකඟ වී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මීට අදාළව චීන අපනයන – ආනයන බැංකුවේ (China EXIM Bank) උප සභාපති යැං ඩොන්ග්නින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා මෙරට සංචාරයක නිරත වූහ.
එහිදී ඔවුන් මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී නව මූල්‍ය ගිවිසුම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.
මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් ගෙවිය යුතු දඩ මුදල් සහ රුපියල අවප්‍රමාණය වීම නිසා ඉහළ ගිය පිරිවැය සහනදායී කොන්දේසි යටතේ පියවා ගැනීම පිළිබඳවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා චීන අපනයන – ආනයන බැංකුවෙන් අෙමරිකානු ඩොලර් මිලියන 500ක් සහ ශ්‍රී ලංකා රජයෙන් අෙමරිකානු ඩොලර් මිලියන 438ක් වැය කිරීමට නියමිතය.
කිලෝමීටර් 37ක් දිගැති මෙම මාර්ග කොටසේ දැනට 51%ක වැඩ අවසන්ව පවතී. රජයේ ඉලක්කය වී ඇත්තේ මෙම වසර අවසන් වන විට එහි ප්‍රගතිය 65%ක් දක්වාත්, 2027 වසර අවසන් වන විට 95%ක් දක්වාත් ඉහළ නැංවීමටයි.
සමස්ත ව්‍යාපෘතිය 2028 සැප්තැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් නිම කිරීමට අපේක්ෂිත අතර, MCC ආයතනය එහි කොන්ත්‍රාත්කරු ලෙස දිගටම කටයුතු කරනු ඇත. මේ අතර, නව ගිවිසුමේ මූල්‍ය ප්‍රතිපාදන සහ ආපසු ගෙවීමේ ක්‍රමවේදයන් පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහා චීන අපනයන – ආනයන බැංකුවේ තවත් දූත පිරිසක් මෙම මස අගදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.