තුවක්කු එකතු කර පන්සලේ තබා ගන්නා යකාගේ හාමුදුරුවෝ

තුවක්කු එක්රැස් කොට තමන් වහන්සේ වැඩ වෙසෙන පන්සලේ තබා ගැනීම විනෝදාංශයක් කොට ගත් භික්ෂුන් වහන්සේ නමක පිළිබඳ තොරතුරු මුල්වරට මට අසන්නට ලැබුණේ මීට මාස කිහිපයකට ඉහත දීය. ඒ ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ චිත්‍ර කලා ගුරු උපදේශකවරයකු වන මගේ හිතවත් ජේ. රත්නායකයන් වෙතිනි. පසුව ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ ගුරු උපදේශකවරයකු වන දමින්ද ප්‍රභාත් අබේකෝන් මහතා අප මිතුරු රත්නායක හට පවසා තිබුණේ ඒ හිමියන් මීට වසර නවයකට පෙර තමන් වහන්සේගේ වකුගඩුවක් ද දන් දී ඇති බවකි.

ඇත්ත ඇති සැටියෙන් කිවහොත් අතීතයට සාපේක්ෂව වර්තමාන ශ්‍රී ලාංකේය භික්ෂූන් පිළිබඳ අනේක වත් නුගුණ මේ වන විට සමාජය පුරා වේගවත්ව පැතිරෙමින් තිබේ. ඒ අනුව ඒ ඇතැම් භික්ෂූන්ගේ අනේකවිධ අවකල් ක්‍රියා හේතුවෙනි. එහෙත්, තුවක්කු එකතු කිරීම හෙවත් ගිනි අවි ළඟ තබා ගැනීම නම් වන නීති විරෝධී ක්‍රියාව විනෝදාංශයක් වශයෙන් කරන හිමි නමක තම වකුගඩුවක් දන්දීමේ පුවත එකකට එකක් කෙසේවත් ගලපාගත නොහැකි වීම මත උන්වහන්සේ පිළිබඳ තොරතුරු විමසීම පිළිබඳ මා තුළ වූ උනන්දුව වේගවත්ව ඉහළ නැංවෙන්නට විය.

සමහරු “වෙද හාමුදුරුවෝ” කියනවා. තවත් අය “තුවක්කු සාදු” කියනවා.

ඒ අතර ඒ හිමි නමට යක්ෂාවේෂයක් ඇති බවක් හෝ උන්වහන්සේ යකුන් බැඳ වැඩ ගන්නා හිමි නමක බව තවත් ආරංචි මාර්ගයක් ඔස්සේ අසන්නට ලැබීමෙන් මා තුළ පැවැති ඒ තොරතුරු පිපාසය දරාගත නොහැකි මට්ටමක් දක්වා ඉහළ නැංවිණි.

ඒ අනුව මම මගේ හිතවත් ජේ. රත්නායකයන් ද සමඟ පසුගිය දිනයෙක උන්වහන්සේ වැඩ සිටින ගල්ගමුව, ඇඹලේගම ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත පියමං කළෙමි. ඒ මා වෙත ලැබී ඇති එකිනෙකට පරස්පර විරෝධී තොරතුරුවල එකලසක් කර ගනිමින් ඒ හිමියන් පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැනගනු රිසියෙනි.

ඉතා මනරම් වැවකට සහ කෙත් යායකට මායිම්ව ඇති ඒ විහාර බිම ඉතා දැකුම්කළු ය. “අර යක්කු බැඳ ගෙන වැඩ ගන්න හාමුදුරු නමක් ඉන්නවා කියන්නේ මේ පන්සලේ ද?” මා සාමාන්‍ය ප්‍රමාණයේ ගැමි නිවසකට වඩා පුළුල් ඉඩකඩක් නොමැති බව හැඟෙන එම විහාරස්ථානයේ ආවාස ගෙය ඉදිරිපිට හිඳින තරුණ හිමි නම අමතමින් අසා සිටියේ ඒ ආවාස ගෙය තුළට දෙනෙත් යොමු කරන අතරේ ය.

“ඇයි මහත්තයා මොකක්ද වුවමනාව?”

තුවක්කු එකතු කර පන්සලේ තබා ගන්නා යකාගේ හාමුදුරුවෝ

උන්වහන්සේ අප දෙස බලා සිනාසෙමින් අසා සිටියහ. ඒ එම හිමි නම තමන් වහන්සේ බව නොකියා කියමිනි. එහෙත්, ඒ බැල්මෙහි යක්ෂ ගතියක සේයා මාත්‍රයක් වත් නොවිණි. එවිට මම උන්වහන්සේට අපගේ අභිලාෂය කෙටියෙන් පැහැදිලි කළෙමි.

“ඔව් ඉතින්; සමහරු මට එහෙමත් කියනවා තමයි. සමහරු වෙද හාමුදුරුවෝ කියලත් කියනවා. තවත් කොටසක් තුවක්කු සාදුත් කියනවා. හැබැයි ඉතින් මගේ නම නම් මුදුන්ගොඩ සුමනතිස්ස” තරුණ විය ඉක්ම වූ බවක් නොපෙන්වන රූපකායකින් යුතු ඒ හිමියෝ සිනාසෙමින් කීහ.

“එහෙනම් අපිට කතා කරන්න සෑහෙන විස්තර තියනවනේ” ඒ සමඟම උන් වහන්සේ කළ ඇරයුමින් රත්නායකයන් සමඟ ආවාස ගෙයට පියමනින අතරේ මම ද සිනාසෙමින් කීවෙමි.

“මහත්තයලා දැන් මං ගැන කතා දෙකක්ම කිව්වනේ. ඉස්සර වෙලා මම විස්තර කරන්න ඕනේ ඔය දෙකෙන් මොන කතාවද?” අපට වාඩි වීම පිණිස ආවාස ගෙයි අසුන් දෙකක් දැක්වූ සුමනතිස්ස හිමියෝ අපට පසෙකින් වූ හාන්සි පුටුවේ අසුන් ගනිමින් කීහ.

“එහෙම නම් අපි තුන් වෙනි කතාවෙන්ම පටන් ගනිමු නේද? හාමුදුරුවනේ” මා සිනා සී එසේ පවසත්ම සුමනතිස්ස හිමියන්ගේ මුහුණට තරමක කුතුහලයක් පිවිසෙනු මට පෙනිණ.

“ඒ මොකක්ද මහත්තයෝ තුන් වෙනි කතාව” ඒ ඔස්සේ උන්වහන්සේ අසා සිටියහ.

“ඔබ වහන්සේ වකුගඩුවක් දන් දීපු කතාව” මම ද එසැනින් කීවෙමි.

“අප්පච්චියේ ඒවත් ආරංචි වුණාද?” තනිවම සිනාසෙන අතරේ කී සුමනතිස්ස හිමියන් යළි මා දෙස සිනාමුසු බැල්මක් හෙලනු පෙනුණි. “ඒක දන් දීලා දැන් අවුරුදු නවයක් වෙනවා මහත්තයෝ, මැරෙන්න යන කෙනකුව ජීවත් කරවනවා යන අභය දානමය පින්කමක් හැටියට තමයි මම ඒක කළේ. දැන් නම් ඔය සමහරු වකුගඩු විකුණනවා කියලත් පත්තරවල තියනවනේ, හැබැයි මම නම් මගේ වකුගඩුවක් තඹ දෙයිතුවක් වත් වෙනයම් ලාභ ප්‍රයෝජනයක්වත් නැතුව දන් දුන්නා. ඒකට කියන්න තියෙන්නේ එච්චර තමයි”.

සුමනතිස්ස හිමියන් එසේ පැවසූ පසු උන්වහන්සේ ගේ මෙම තුවක්කු හෙවත් නීති විරෝධී ගිනි අවි රැස් කිරීමේ විනෝදාංශය පිළිබඳව විමසීමට මට සිතිණ.

● මරු වැල් ගැලවිල්ල

තුවක්කු එකතු කර පන්සලේ තබා ගන්නා යකාගේ හාමුදුරුවෝ

“ඒකට නම් මහත්තයෝ ටිකක් දිග උත්තරයක් දෙන්න වෙනවා, මගේ උපන්ගම ගල්නෑවේ, මුදුන්ගොඩ. අපි ඒ ගම්මානවල පාරම්පරික මිනිස්සු මගේ පියතුමා අලි බාසුන්නැහේ කෙනෙක්, පියතුමා තමන් බලන අලි ඇතුන්ට අපිට වගේම ආදරය කළා. ඒ වගේමයි අනිත් සතා සීපාවන්ටත්. ඒ හින්දා සත්තුන්ට ආදරය කරුණාව දක්වන එක මගේ ලේ උරුමයක් කියලයි මට හිතෙන්නේ. පස්සේ මම උඩරට අමරපුර නිකායේ ලේඛකාධිකාරී මාදිපොල ධම්මික නායක හාමුදුරුවෝ යටතේ මහණ වුණා. ඊට පස්සේ මගේ පැවිදි ජීවිතය තුළ දීත් මිනිසුන්ට වගේම සත්තුන්ටත් යහපතක් කරන්න ඕනේ කියන දැඩි අධිෂ්ඨානය මම වයසින් වැඩීමත් එක්කම පෝෂණය වුණා. ඊට පස්සේ තමයි මම මේ පන්සල භාර ගත්තට පස්සේ මේ අවට කැලෑවල ඇවිදලා මිනිස්සු සත්තුන්ට බඳින තුවක්කු ඒ කියන්නේ මරු වැල් බොහොම සීරුමාරුවට ගලවලා ඒකේ අර පත්තු වෙන නිපල් එක කියන කොටස කඩලා දාලා ඒවා පන්සලට ගේන්න පුරුදු වුණේ. එහෙම කැඩුවම ඒක තවදුරටත් ගිනි අවියක් නෙවෙයිනෙ. පස්සේ මගේ මේ වැඩේ ගැන දැනගත්තු වනජීවී එකේ මහත්තුරු මට හරියට ප්‍රශංසා කළා. ඊට පස්සේ මම උන්නැහේලත් එක්ක කැළේ කොළේ ඇවිදලා බැඳපු කෙනෙක් හොයා ගන්න බැරි බට තුවක්කු ගලවලා අක්‍රිය කරවලා පන්සලට ගේන්න පටන් ගත්තා. සත්තුන්ට අටවපු උගුලුත් එහෙම තමයි. ඕක තමයි ඔය මම තුවක්කු එකතු කරනවය කියන කතාව” සුමනතිස්ස හිමියෝ අප තුළ වූ කුතුහලය සමනය කරමින් එසේ කීහ.

උන්වහන්සේ මෙම ගල්ගමුව, ඇඹලේගම සම්බුද්ධ ජයන්ති විහාරය ස්ථාපිත කොට එහි වැඩ වාසය කිරීම අරඹා ඇත්තේ 2009 වසරේ ය. ඒ දක්වා ඒ ගම්මානයට විහාරස්ථානයක් තිබී නැත. නමුත් ඒ වසරේ එම ගම්මානයේ තිබූ මඩුවක ධර්ම දේශනයක් සඳහා උන්වහන්සේට ගම්මුන්ගෙන් ඇරැයුමක් ලැබී තිබිණ. ඊට පෙර ඒ ගම් පියස පිළිබඳව ගම්මුන්ගෙන් වටින් ගොඩින් කරුණු විමසූ සුමනතිස්ස හිමියන්ට ඒ වන විට ඒ ගමේ නව දඩයම් සංස්කෘතියක් පිළිබඳව තොරතුරු අසන්නට ලැබී තිබේ. උන්වහන්සේ ඇඹලේගම වැඩවාසය කිරීමට පාදක නිමිත්ත වී ඇත්තේ එයයි.

“ඉස්සර මේ හැම ගමකම දඩයම් කාරයෙක් දෙන්නෙක් හිටියා. වැව්වල මාළු අල්ලන මිනිස්සුත් කීප දෙනෙක් හිටියා. ගම්වල මිනිස්සු ඉඳලා හිටලා දඩමස් කෑවත් වැව්වල මාළු කෑවත් ඒවා රස්සාවල් හැටියට කරන මිනිස්සුන්ට වත් ඒ අයගේ දරු පවුල්වලට වත් ගමේ ඉහළ තැනක් ලැබුණේ නෑ. නමුත් පහුගිය කාලේ වෙන කොට මේ ගම්වල ඔය බට තුවක්කු හදන එක පුදුම විදිහට වැඩි වෙලා. ජීවත් වෙන්න වගේම සමහරු විනෝදයටත් සත්තු දඩයම් කළා. මේ ගම අද්දරින් තමයි කහල්ලපල්ලෙ කැලේ වන රක්ෂිතයයි, සියඹලංගමුව ජලාශයයි මායිම් වෙන වන තීරුව තියෙන්නේ. ඒත් මේ අවට කැළෑ එළිවෙලා උන්හිටිතැන් අහිමි වෙලා එළි පහළියට එන සත්තුන්ට මෝටර් සයිකල්වල යන ගමන් පවා වෙඩි තියන මිනිස්සුන් හිටියා. අන්න ඒ වගේ කාරණා කීපයක් මුල් කරගෙන තමයි මේ ගමේ පන්සලක් හදාගෙන නතර වෙන්න මම තීරණය කළේ. ඒකට මට මේ ගමේ දායකයන් ගෙන් ඉඩමකුත් ලැබුණා. දැන් මේ අවට ඕනේ කෙනෙකුගෙන් අහලා බලන්න; වන සත්තු දඩයම සීයට අනූවක්ම අඩුවෙලා මොකද? බඳින තුවක්කු උගුල් සේරම මම ගලවා ගෙන එනවනේ. අපරාදේ කියන්න බෑ ඒකට වන ජීවී එකේ මහත්තුරුන්ගෙනුත් මට උපරිම සහායක් හම්බු වෙනවා” සුමනතිස්ස හිමියන් එසේ කී පසු මගේ සිත තුළට ක්ෂණිකව පිවිසි පැනයක් වූයේ එදා මෙදා තුර එලෙස එකතු කොට අක්‍රිය කළ ගිනි අවිවලට උන්වහන්සේ කුමක් කරන්නේද යන්න ය.

● තුවක්කු තලා පරණ යකඩවලට

තුවක්කු එකතු කර පන්සලේ තබා ගන්නා යකාගේ හාමුදුරුවෝ

“මහත්තයලගේ ගම් පළාතටත් එනවා ඇතිනේ අර පරණ යකඩවලට අලුත් බේසම් දෙන පුංචි බට්ටා ලොරි. ඉතින් මාත් කරන්නේ ඒ තුවක්කු බට ගලක් උඩ තියලා හොඳට තලලා ඒවා ඒ ලොරිවලට දීලා අලුත් බේසම් ගන්න එක තමයි. එහෙම නැතුව ඒවා තැන් තැන්වල දැම්මොත් ඔය මිනිස්සු ආයිමත් බට තුවක්කු හදලා අසරණ සත්තුන්ගේ ජීවිත විනාශ කරනවනේ” සුමනතිස්ස හිමියෝ සිනාසෙමින් පිළිතුරු දුන්හ. “හැබැයි ඉතින් ඔය විදිහට ඔබ වහන්සේට හතුරන්ගෙනුත් කිසිම අඩුපාඩුවක් නැතුව ඇති නේද?”

මා විසින් නැගිය යුතු ඊළඟ පැනය මගේ හිත මිතුරු රත්නායක විසින්ම ඇසීම මට මහත් පහසුවක් විය.

“ඇත්තටම මහත්තයෝ මම ඒ ගැන නම් හිතලා නැහැ. අනික එහෙම හතුරෝ ඉන්නවය කියලා මම මොකටද කාටවත් නිවට වෙන්නේ. ඕනේ නම් කවුරු හරි මාව මරලා දමාවි. හොඳයි ඊට වැඩිය මට මොනවද කරන්න පුළුවන්” ඊට සිනාසෙමින් පිළිතුරු දුන් සුමනතිස්ස හිමියෝ කීහ. “මරණ එක කොහොම වුණත් මේ ගම් වලින් භාගෙට භාගයක් ඔබ වහන්සේ එක්ක තරහ නම් ඇති. මොකද ඔය දඩයම්වලට සම්බන්ධ අයගේ පවුල් ඇත්තෙත් මේ ගම් වලමනේ” මම යළි උන්වහන්සේගෙන් ඇසීමි.

“ගමේ හැම තැනකම වැව් තියනවා. පාරම්පරිකවම මිනිස්සු ඒවයේ මාළු අල්ලනවා. නමුත් මම ඒවා නොදැක්ක ගාණට ඉන්නවා. නමුත් මහ කැලේට ගිහින් හරි කැලේ ඉඳලා යන එන මං නැතුව ගම් වදින වන සත්තුන්ට ගිනි බිඳිනවා නම් රක්ෂිත කැළේ ඇතුලේ තියන වැව්වල මාළු අල්ලනවා නම් මම ඒවට කෙලින්ම විරුද්ධ වෙනවා. අනික එහෙම වුණොත් වනජීවී මහත්තුරුත් ඒවට නඩුත් පවරනවනේ. වෙනස තියෙන්නේ අපි පව්කාර වැඩ කියන ඒවට වනජීවී මහත්තුරු නීති විරෝධී වන අපරාධ කියන එක විතරයි” ඒසේ කී සුමනතිස්ස හිමියන් ඉන් අනතුරුව කළ මෙම ප්‍රකාශය මීට පෙර කිසිදු භික්ෂූන් වහන්සේ නමක වෙතින් මම පෞද්ගලිකව අසන්නට නොලැබීම නිසා එය මෙලෙස වෙනම සටහන් කිරීමට මට සිතේ.

● යක්කුන්ගෙන් වැඩ ගැනීම

“හාමුදුරුවරු උජුපටිපන්න, ඒ කියන්නේ කෙලින් හිතන්න තීරණ ගන්න වැඩ කරන්න ඕනේ කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒත් බුදුහාමුදුරුවන්ගේ ඒ කැමැත්තට අද අපේ සමාජයේ හුඟ දෙනෙක් ඉඩ දෙන්නේ නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවන්ව බත් කටකට පිරිකරකට වහල්කමට තියා ගන්න තමයි අද හැමෝම බලන්නේ. හැබැයි මහත්තයෝ කිව්වට මොකද මම නම් ඔය එක යකෙකුටවත් බය නෑ, බත් කටකට පිරිකරකට ඔය මෙලෝ යකෙකුට ඔළුව නමන්නේත් නැහැ” සුමනතිස්ස හිමියන්ගේ පිළිතුර නිමා කළ ඒ වදන අලුතින් පැනයක් මතු කර ගැනීමට හොඳ පොටක් සේ මට පෙනුණි.

“ඔව් ඉතින්; ඔබ වහන්සේ යක්කුන්ට බය නම් යක්කු බැඳ ගෙන වැඩ ගන්නේ නෑනේ” උන්වහන්සේගේ මුහුණේ ඉරියව් පිරික්සමින් මම ඇසීමි. එවිට ද උන්වහන්සේ මුව පුරා සිනාසී මඳක් කල්පනා කරන අයුරක් දැකිය හැකි විය.

“ඔය යක්කු කියන්නේ අමුතු ජාතියක් නෙවෙයි මහත්තයෝ, අපේ පාරම්පරික වෙදකම්වල බේත්, හේත් වලට අමතරව කෙම් පහන් වගේම ඔය අමනුස්ස බලවේග වලට කරන එක එක පිළියමුත් තියනවා. මටත් ඒවයේ පරම්පරාගත උරුමයක් තියනවා. අනික මේ වන්නි හත්පත්තුවේ දෙවිවරුන්ගෙනුත් භාගෙට භාගයක් යක්කුනේ, කඩවර කියන්නේ කවුද? දෙවියෙක් වගේම යකෙක්. එතකොට කම්බිලි කියන්නේ ඒත් දෙවියෙක් වගේම යකෙක්. ඔඩ්ඩි සූනියම් කියන්නෙත් දෙවියෙක් වගේම යකෙක්. එසේ කී සුමනතිස්ස හිමියන් තම එම කතාව නතර කළේ “මේවයේ ඉහ ගහලා ඉන්න කොට දෙවිවරු වගේම යක්කුන්වත් කිට්ටුවෙන් තියා ගන්න වෙනවා තමයි යන්න පවසමිනි. මා සිතන අන්දමට සුමනතිස්ස හිමියන් තුළ ඒ නිර්භීත පෞරුෂය ගොඩනැඟීමට විශ්වාසය ද හේතු වන්නට ඇත. අප ජන සමාජයේ පාරම්පරික ජන විශ්වාසවලට අමනුෂ්‍ය ක්‍රියාකාරකම් යනු හුදෙක් යථාර්ථවාදී නොවන අද්භූත බලපෑම් ය. එහෙත්, අමනුෂ්‍යය විශ්වාස යනු කිසිසේත් මනෝමය සාධකවලින් බැහැර නොවන්නක් බව නවීන විද්‍යාව මගින් සනාථ කොට තිබේ. එවන් තත්ත්වයක් යටතේ වුව මුදුන්ගොඩ සුමනතිස්ස හිමියන් දන්නා පාරම්පරික ජන වෙදකම අනුව උන්වහන්සේ ළඟ තබා ගෙන හිඳින යක්ෂයන් ඉහතට ඇද දැමීමට මම පසුබට වෙමි. ඒ එවිට අප සමාජයේ පාරම්පරික ජන විශ්වාසවල එන යකුන්ට වඩා අතිශය බිහිසුණු රාක්ෂයන් අප ජීවත් වන සමාජයෙන්ම මතු වීමේ පැහැදිලි අවදානමක් පවතින බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *