අධිරාජ්‍ය විරෝධී ජවිපෙ පාලනය යටතේ මොසාඩ් බලවත් වෙලා – විමල් වීරවංශ කියයි

අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණු පාලනය යටතේ ලංකාව තුළ මොසාඩ් සංවිධානය බලවත් වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කළේ ය.

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය දියත්කර ඇති යුද්ධයට විරෝධය පලකරමින් කොළඹ පදනම් ආයතනයේ ‘ලේ සහ කදුළු’ මැයෙන් පැවැති සම්මන්ත්‍රණයේදී දෙසුමක් පවත්වමින් ඔහු මේ බව කීය.

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයට ඉරාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානීන් හා හිටපු ඇමතිවරුන් වන ටිරාන් අලස්, උදය ගම්මන්පිල යන මහත්වරුද එක්ව සිටියහ.

අපේ රටට බලපෑ යුධ සමයන්හිදී ඉරානය නිරතුරුව මිතුරෙකු ලෙස අපි පසුපස රැඳී සිටිමින් අපේ රටට ජවය දුන්නා සේ ශ්‍රී ලංකාව මේ අසීරු යුද්ධයේදී පැරණි මිතුරාට ශක්තිය දෙමින් ඉරානය පසුපස සිටගත යුතු බව හෙතෙම සදහන් කළේය .

විමල් වීරවංශ එහිදී මෙසේද කීය.

“අද මේ රටේ අද මොසාඩ් එක බලවත්ව ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවන්න පටන් ගත්තා. ඊශ්‍රායල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය කියලා. ඒගොල්ලෝ කපටිකමට සභාපති කරන්න යෝජනා කරලා තිබුණේ සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ. ජේවීපී එක ගමේ මරණාධාර සමිතියේ සභාපතිකම වත් වෙන මිනිහෙකුට දෙන්නේ නැහැ. මේ හැම එකම අල්ලන ජේවීපී එක මේ මිත්‍රත්ව සංගමයේ සභාපතිකම විතරක් සුජීවට දෙනවා. සුජීවට මේක අපි කිව්වම තේරුණා. ඊට පස්සේ කතා කරලා කිව්වා මට එන්න වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා එන්න වෙන්නේ නැහැ කියලා.

දැන් බලන්න මොකක්ද අර ඉරාන නැව්වලට වුණේ? ඉන්දියානු බලධාරීන් ලංකාවේ බලධාරීන්ගෙන් ඇහුවා “අපිට උඹලාට මේ උදව්ව කරන්න පුළුවන්ද? අපි වෙනුවෙන් මේ අපේ උත්සවයට ආපු මේ නැව් ටික ඔබලා භාර ගනිල්ලා අපි ඒකත් පස්සේ වෙලාවක භාර ගන්නම්, ඒකට උඹලාට බලශක්ති අර්බුදයක් ඇති වෙන්න දෙන්නේ නැහැ අපි බලාගන්නවා” කියලා. පළවෙනි වටේදී හා කිව්වා.

මෙහෙ ඉන්න මෙලෝ රහක් නැති කට්ටියට ආවා කෝල් එක “බාරගන්න එහෙම එපා නැව්” කියලා. ඊට පසුවෙන දවස උදේම ආරක්ෂක ලේකම් කොළයක් යවනවා ලිඛිතව දැනුම්දීමක් ඉරාන තානාපතිතුමාට “සමා වෙන්න අපිට මේ නැව් බාර ගන්න බෑහැ” කියලා. . නැව ඉන්නවා දෙලොවක් අතර. ඇවිල්ලා ගහලා යනවා. ඔන්න විශිෂ්ට රාජතාන්ත්‍රික භූමිකාව. “අනේ සමා වෙන්න අපිට ඔය මේ වෙලාවේ කරදරවල වැටෙන්න බෑ” කියලා. එහෙම කියන්නේ නැතුව “ඔයාගේ බලශක්තිය අර්බුදයක් එන්න දෙන්නේ නැහැ අපි ඔබව බලාගන්නවා” කියපු ගමන් ඩෝන් ගාලා හාන් කිව්වා. මොන තරම් චපල පිළිවෙතක්ද?

ඊට පස්සේ තමයි බොහොම අමාරුවෙන් ආයේ අමෙරිකානු කට්ටියත් එක්කත් කතා කරලා ඒගොල්ලොන්ටත් මේ බැගෑපත් වෙලා එක නැවක කට්ටියක් කොළඹටයි අනිත් නැව ත්‍රිකුණාමලයටයි යවන්නේ. ඉතුරු ටික ගත්තා ඉන්දියාවට. දැන් බලන්න මේ ඉන්දියානු සාගර කලාපයට යුද්ධය ගෙනාවා මේ ගොන් අමන තීරණ මගින්. මේ වැනෙන දෙබිඩි ප්‍රතිපත්තිය තමයි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අගාධයට ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *