ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් මෙරට මෝටර් රථ රක්ෂණ ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින්, එළඹෙන මැයි මස 01 වනදා සිට සියලුම මෝටර් රථ රක්ෂණ සහතික ඩිජිටල් ක්‍රමයට (Digital Motor Insurance Card) පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, 2026 මැයි 01 වනදායින් පසුව කිසිදු රක්ෂණ සමාගමක් විසින් ප්ලාස්ටික් හෝ කඩදාසි ඇසුරින් සකස් කළ භෞතික රක්ෂණ කාඩ්පත් (Physical Cards) නිකුත් කරනු නොලැබේ. රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සහ පරිසර හිතකාමී “Go Green” ප්‍රතිපත්තියට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ.
පොලිස් පරීක්ෂාවන් පහසු වෙයි
මෙම නව ක්‍රමයත් සමඟ රියදුරන් තම වාහනයේ මුද්‍රිත රක්ෂණ සහතිකයක් තබා ගැනීමේ අවශ්‍යතාවය මින් ඉදිරියට පැන නොනගිනු ඇත. ඒ වෙනුවට ශ්‍රී ලංකා පොලිසිය වෙත විශේෂ ඩිජිටල් පද්ධතියක් සහ ටැබ් (Tablet) යන්ත්‍ර ලබා දී ඇති අතර, එමඟින් වාහන අංකය ඇතුළත් කළ සැනින් රක්ෂණයේ වලංගුභාවය ක්ෂණිකව පරීක්ෂා කිරීමේ හැකියාව පොලිස් නිලධාරීන්ට හිමි වේ.
මෙහි ප්‍රධාන වාසි කිහිපයක්:
- ව්‍යාජ සහතික වැළැක්වීම: ඩිජිටල් පද්ධතිය හරහා දත්ත පරීක්ෂා කරන බැවින් හොර රක්ෂණ සහතික ඉදිරිපත් කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යයි.
- පහසුව: රක්ෂණ සහතිකය අස්ථානගත වීම හෝ නිවසේ අමතක වීම වැනි ගැටලු මින් ඉදිරියට පැන නොනගී.
- පරිසර හිතකාමී බව: වාර්ෂිකව මුද්‍රණය කරන මිලියන සංඛ්‍යාත ප්ලාස්ටික් කාඩ්පත් භාවිතය නතර වීමෙන් පරිසර දූෂණය අවම වේ.
මෙම නියෝගය රක්ෂණ කර්මාන්ත නියාමන පනතේ 96A වගන්තිය යටතේ නිකුත් කර ඇති අතර, මැයි මස පළමු වැනිදා සිට මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බව රක්ෂණ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.