මෙම වසරේ ජනවාරි මාසයේ රජයේ ආදායම 35%කින් වර්ධනය වී ඇතැයි මුදල් හා ක්රමසම්පදාන අමාත්‍යාංශය කියයි.
අය-වැය හිඟය ද රුපියල් බිලියන 3.8 දක්වා පහළ ගොස් ඇතැයි මුදල් හා ක්රමසම්පදාන අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 වසරේ ජනවාරි මාසය තුළ රජයේ සමස්ත ආදායම පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 35.2ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
2025 වසරේ ජනවාරි මාසයේ දී රුපියල් බිලියන 346.58ක් ලෙස සටහන් වූ රජයේ ආදායම, 2026 ජනවාරි වන විට රුපියල් බිලියන 468.75ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම කාලසීමාව තුළ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 472.56ක් ලෙස සටහන් වන අතර, ඒ අනුව සමස්ත අය-වැය හිඟය රුපියල් බිලියන 3.81ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.
ආදායම් වර්ධනය පිළිබඳ වැඩිදුර තොරතුරු සලකා බැලීමේදී, රජයේ බදු ආදායම රුපියල් බිලියන 434.23ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ ලැබූ රුපියල් බිලියන 321.48ක බදු ආදායමට සාපේක්ෂව සියයට 35ක වර්ධනයකි.
එමෙන්ම බදු නොවන ආදායමද රුපියල් බිලියන 25.10 සිට රුපියල් බිලියන 34.52 දක්වා සියයට 37.5කින් ඉහළ ගොස් ඇත.