මේ තරම් බුදු දහමට විරුද්ධව කථාකරන අපහාස කරන ධර්මයට විරුද්ධව ධර්මය විකෘති කරන මහා සංඝ රත්නයට බණින දෝෂාරෝපණය කරන අපහාස කරන යුගයක් අපේ ජීවිත කාලයේ තවත් තවත් තිබුණේ නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ මතුගම ඇතුළත්මුදලිගම ශ්‍රී ජයබෝධි විහාරස්ථානයේ පැවති පුණ්‍ය උත්සවයකදී පැවසූහ.
මහා සංඝරත්නයත් ගිහි බෞද්ධ ජනතාවත් හිතලා ගතයුතු බොහෝ දේවල් තියෙනවා. දැන් අපි බොහෝ දෙනෙක් රැවටිලා රැවටිලා අන්තිමටම රැවටුනා. මේ රටේ බොහෝ කරුණු කාරණා අතින් අපි දැන් අසරණ වෙලා ඉන්නේ යැයිද අනුනාහිමියෝ පැවසූහ.
එහිදි කොටපිටියේ රාහුල අනුනාහිමියෝ මෙසේද කීහ.
මහා සංඝ රත්නයට බණිනවා. අපහාස කරනවා. උන් වහන්සේලාට බණිනවා කියන්නේ මටනම් පෙනෙන විදිහට මේ ගිහි පැවිදි හැමෝම හිතලා බලන්න මේ ගහන්නේ අපේ උතුම් වටිනා තැන්වලට. මේ ගහන්නේ අටමස්ථානයට, සොළොස්මස්ථානයට අනිකුත් වටිනා පන්සල්වලට. හොඳට හිතලා බලන්න මෑත යුගයේ මේ පහර ගහගෙන ගහගෙන අපහාස කරගෙන කරගෙන යන්නේ මේ රටේ ජීවය වන මහ සංඝ රත්නයටයි. මේ බුදු පිළිම චෛත්‍යය තිබුණට ශාසනය ජීවමාන වන්නේ මහා සංඝ රත්නය නිසයි. මේ රට රැක්කේ මේ රට මෙච්චර කල් රැකගෙන ආවේ මේ කියන විදිහට මිසක් වෙනත් විදිහකට නෙමෙයි. අපරාධ වැරදි උස්සලා උලුප්පලා තියලා මහා සංඝ රත්නය පිළිබඳව වැරදි වැටහීම් ඇතිකරනවා.
අනුරාධපුර අටමස්ථානය රැකගත්තේ ඔය එක හාමුදුරු කෙනෙක්ද. මේක අවුරුදු දෙදහස් ගාණක් රැක්කේ එක හාමුදුරු කෙනෙක්ද, දෙන්නෙක්ද. එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් සිද්ධ වෙන වැරදි, ඒ වැරදි ඔප්පු වෙලත් නැති කාලෙක අනුරාධපුරේ අටමස්ථානය අපිට එපා කරනවා. සොළොස්මස්ථානයේ පන්සල් අපිට එපා කරනවා. යාපනේ අපිට එපා කරනවා. ත්‍රිකුණාමලේ, මඩකලපුව අපිට එපා කරනවා. ඒවගේම කතරගම අපිට එපා කරනවා. කැලණියේ නයි කියලා කැලණිය එපා කරනවා. කොහේටද මේ ගහන්නේ අපේ බෞද්ධ මුලට. මේ බව හොඳට තේරුම් අරගෙන අපේ බෞද්ධ ජනතාව මේ අපේකම රැකගන්න උනන්දු වෙන්න ඕනා.
මෙම අවස්ථාවට මතුගම ඇතුළත්මුදලිගම ශ්‍රී ජයබෝධි විහාරාධිපති බෝපිටියේ ධම්මවංස හිමියන්ගේ ආරාධනයෙන් ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.
මූලාශ්‍රය : අරුණ