බාලවයස්කාර පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මාතා විසින් අනුරාධපුර විහාරස්ථානයක ප්‍රසිද්ධ විහාරාධිපති හිමි නමකට වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
පැවිදිවීම සඳහා තම විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව මහාධිකරණය හමුවේ අධි චෝදනා 3 ක් ලබා සිටි විත්තිකාර විහාරාධිපති හිමිනම එම චෝදනා 3 ට වරදකරු බවට තීන්දු කරමින් මෙම නියෝගය ඊයේ (27) ලබා දී තිබේ.
ඊට අමතරව වින්දිත බාල වයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර හිමිනමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියොත් විත්තිකාර හිමිනමට තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කළේය.
විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත 30 වසරක සිරදඬුවම දස වසරකින් එක්වර ගෙවී යා යුතු බවටද නියම කර ඇත.