නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරෙන, රුපියල් ලක්ෂ 450ක් (කෝටි 4.5ක්) පමණ වටිනා දේපළ කිහිපයක් තහනම් කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
උඩුමුල්ල, බටපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සැකකටයුතු ආකාරයෙන් මුදල් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මූලික විමර්ශන ආරම්භ කර තිබිණි. මේ පිළිබඳ කරුණු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත යොමුකර තිබිණි. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල් යොදවා ඔහුගේ බිරියගේ නමින් බටපොළ, උඩුමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 100ක් පමණ වටිනා අක්කර 4 ½ ක ඉඩම, උඩුමුල්ල ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා පර්චස් 54ක කුරුඳු ඉඩම සහ උඩුමුල්ල, කිතුල්ගහ ප්‍රදේශයේ ඉදිකර ඇති රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා දෙමහල් නිවෙස මිලදීගෙන ඇති බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව, මෙම දේපළ පෙරේදා (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 7ක කාලසීමාවක් සඳහා තහනම් කිරීමට (ක්‍රියා විරහිත කිරීමට) නියෝග නිකුත් කර ඇත. නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.