රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පැමිණිල්ල දුන් කටඋත්තරය යම්කිසි අයකුගේ බලපෑම මත වෙනස්කර සටහන් කරගත් බව කියන පොලිස් නිලධාරීන් සිව් දෙනකුට ඒ පිළිබඳ සාක්ෂි දීම සඳහා ලබන සැප්තැම්බර් 01දා පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අවවාද කළේය.
කොළඹ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් කර එහි තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා මෙම නියෝගය දුන්නේය.
ඒ අනුව පැමිණිල්ලේ 7, 8, 9, 10 වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.බී.එස්. පෙරේරා, පොලිස් පරීක්ෂක රුක්මාල්, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත සහ කොස්තාපල් සුරේෂ්ට මීළඟ නඩු දින අධිකරණය ඉදිරියේ පෙනී සිටීන ලෙස නියෝග කෙරිණි.
මෙයට අමතරව විත්තිකරුගේ වාහනය ලුහුබැඳි මෝටර් බයිසිකලයේ පිටුපස ගමන් ගත් බව කියන දැනට විදේශගතව සිටින පැමිණිල්ලේ 2 වැනි සාක්ෂිකරු වන සිද්ධික් මොහොමඩ් සුෆායිස් යන අයගේ සාක්ෂිය මාර්ගගතව ගැනීමට නියම විය.
මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවෝ අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.
පැමිණිල්ලේ 3 වැනි සාක්ෂිකරු වන හර්ෂ බණ්ඩාර තිලකසිරි යන අයගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා දෙවැනි දිනටත් හරස් ප්‍රශ්න විමසීය. අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සාක්ෂිකරු වසර තුනහමාරක පමණ කාලයක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ, පළමු විත්තිකාර හිටපු ඇමැතිවරයා කෙරෙහි තිබූ බිය නිසා තමා එතෙක් නිහඬව සිටි බවයි. කෙසේ වෙතත්, 2019 දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් මූලික ප්‍රකාශයේ එවැනි බියක් පිළිබඳව සඳහන් කර නොමැති බව විත්තිය පෙන්වා දුන්නේය.
විත්තිකරුගේ පෞද්ගලික සහකරු තනතුරින් ඉවත් වීමෙන් පසු හිටපු ඇමැතිවරයා තවත් පිරිසක් සමඟ තමා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අංගොඩ මානසික රෝහලට ඇතුළත් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
එහි වෛද්‍යවරුන්ට එරෙහිව සාක්ෂිකරුගේ පියා වන පණ්ඩිත සිරි තිලකසිරි මහතා වෛද්‍ය සභාවට කළ පැමිණිල්ලක් කළ බවත්, එය මහාචාර්ය නීලමනී ද සිල්වා, මහාචාර්ය නාරද වර්ණසූරිය සහ වෛද්‍ය උපුල් ගුණසේකර යන මහත්වරුන් විසින් විභාග කළ බවත් විත්තිය කළ විමසීමට පිළිතුරු දෙමින් අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය.
රියැදුරු තුසිත කුමාර පොලිසියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරු දුන් මූලික සාක්ෂිය පිළිබඳ විත්තිය දීර්ඝ වශයෙන් හරස් ප්‍රශ්න විමසන ලදි. අනතුර සිදු වූ අවස්ථාවේ රියැදුරු තුසිත ඇමැති බිරිය සහ විත්තිකරුගේ දියණියන් ඔවුන් ජීවත් වූ හෝමාගම නිවෙස කරා ගෙන යමින් සිටි බව සාක්ෂිකරු පවසා සිටියේය. එම ගමන නවතා වහාම පොලීසියට පැමිණෙන ලෙස තමා ඔහුට දැනුම් දුන් බව හරස් ප්‍රශ්නයකට උත්තර දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.
මෙලෙස දරුවන් මඟ දමා එම සිදුවිය නොහැකි දෙයක් බවට විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඇමැති බිරිය හා දරුවන් මහමඟ දමා ඒමක් සිදු නොවූ බවත්, රියැදුරා පොලීසියට යොමුකර ඔවුන් කුලී රථයකින් නිවෙසට ගිය බවත් සාක්ෂිකරු පිළිතුරු ලෙස කියා සිටියේය. අනතුර සිදු වූ දින කාල වේලා සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ ප්‍රකාශවල පරස්පරතා විත්තිය පෙන්වා දෙන ලදි. සාක්ෂිකරු පවසන පරිදි ඔහු ඇමැතිවරයාගේ නිවෙසට යන විට රාත්‍රී 11:00 පමණ වී තිබූ බවට ඔහු පොලිස්පතිවරයාට දී ඇති ප්‍රකාශයේ සඳහන් කර තිබූ බව විත්තිය පෙන්වා දුන්නේය. එහෙත් පොලිස් වාර්තාවලට අනුව අනතුර සිදු වී ඇත්තේ රාත්‍රී 10:20ත් 10:25ත් අතර කාලයේ බව විත්තියේ නීතිඥවරයා කියා සිටියේය. සාක්ෂිකරුගේ ප්‍රකාශය අනුව ඇමැතිවරයාගේ ඇමතුම ලැබී ඇත්තේ ඔවුන් ඇවිදින මං තීරුවේ වටයක් ගොස් ඊළඟ වටයේ කාලක් පමණ ගමන් කරමින් සිටියදීය. එම මූලික සාක්ෂිය ඇසුරින් විත්තිය සාක්ෂිකරුට ව්‍යායාම සඳහා වටයක් ඇවිදීමට යන කාලය පිළිබඳ ප්‍රශ්න කළේය.
වෛද්‍ය උපදෙස් මත සෙමින් ඇවිදින පුද්ගලයකුට කිලෝමීටර් තුනක වටයක් යෑමට සාක්ෂිකරු පවසන විනාඩි 15ක කාලය ප්‍රමාණවත් නොවන බව විත්තිය තර්ක කර සිටියේය.
සාක්ෂිකරු මුලින් පවසා තිබුණේ තමා තනිවම ඇමැතිවරයාගේ නිවෙසට ගිය බව වුවත්, පසුව අල්විස් ද එහි පැමිණි බව පවසමින් සාක්ෂිය වෙනස් කිරීමට උත්සාහ කළ බව විත්තිය පෙන්වා දුන්නේය.
2019 වසරේදී දේශපාලන බලය වෙනස්වීමෙන් පසු ඇමැතිවරයා කෙරෙහි ඇතිවූ පෞද්ගලික වෛරය සහ ද්වේෂය නිසා ගොතන ලද අසත්‍ය සාක්ෂි ලබා දෙන බවට විත්තිය කළ චෝදනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කර සිටියේය. අනතුරුව 2 වැනි විත්තිකරුගේ නීතිඥයාද සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසූ අතර 3 වැනි විත්තිකරුගේ නීතිඥයා හරස් ප්‍රශ්න නොවිමසීය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු මෙහෙයවූ අතර නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.
ජනාධිපතිවරුන් වන නීතිඥ නිහාල් ජයමාන්න, අනිල් ද සිල්වා සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටිති.