බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන, කැණීම් කරන හෝ නිම කරන ලද ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එය පසුගිය ජුලි මස 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
මෙම නව රෙගුලාසි යටතේ, යම් රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී ඒවා බලහත්කාර ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තීරණ සැලකිල්ලට ගනිමින්, මෙම තහනමට යටත් විය යුතු නිශ්චිත භාණ්ඩ හෝ රටවල් පිළිබඳ අමාත්‍යවරයා විසින් ඉදිරියේදී කාලානුරූපීව නිවේදනය කරනු ඇත.
රජය මෙම පියවර ගෙන ඇත්තේ බලහත්කාර ශ්‍රම භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නා බවට ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනා හමුවේය. විශේෂයෙන්ම, මෙවැනි භාණ්ඩ ආනයනය වැළැක්වීමට නිසි පියවර නොගන්නා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට එරෙහිව අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී යෝජනා කර තිබුණි.
එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට අමෙරිකානු පරිපාලනය සූදානම්ව සිටියේය. ශ්‍රී ලංකාව මීට පෙර මෙවැනි නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙම බදු පැනවීමට ප්‍රධාන හේතුව ලෙස අමෙරිකාව පෙන්වා දී තිබුණි. කෙසේවෙතත්, රජය විසින් ප්‍රකාශයට පත් කළ මෙම නව රෙගුලාසිය හරහා එම අහිතකර බලපෑම් වළක්වා ගැනීමටත්, ජාත්‍යන්තර වෙෙළඳ ප්‍රමිතීන්ට අනුකූල වීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.