වෛද්‍යවරියක වෙන්න හීන දකින අම්බලන්ගොඩ දේවානන්දයේ ශනුදි අමායා ශිෂ්‍යත්වයේ පළමුවැනියා වෙයි

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (03) රාත්‍රියේ නිකුත් විය. එම විභාගයෙන් ලකුණු 198 ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණියකි.

දූපත් 64 කින් සමන්විත බළපිටිය, සුන්දර මාදු ගං කොමලියේ මහළදූව දූපතේ පදිංචි එම් ඩබ්ලිව් ශනුදි අමායා අශ්විනී මේ හපන්කම් පෑ දියණියයි. උපරිමය ලකුණු 200 ක් වන ප්‍රශ්ණ පත්‍රයකට උත්තර ලියා එයින් ලකුණු 198 ක් ලබා ගැනීම සුළුපටු දස්කමක් නොවේ. දෙවැනි ස්ථානයට පත් අය ලබාගෙන ඇත්තේද ලකුණු 194 කි.

මම, හොදින් ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙනවා. විශේෂඥ වෛද්‍යවරියක් විමට ගොඩාක් කැමතියි. ශනුදි සිය ජයග්‍රහණය පිළිබද අප සමග දොඩමළු වෙමින් ප්‍රකාශ කළාය. මුහුදු පතුල ගවේෂණය කිරීමට අදාල කටයුතු වල නිරත වෙන්නත් ආශාවක් තිබෙනවා. ඒ ආශාවත් මම, මගේ අනාගත ජීවිතය තුල ජයගන්න අවශ්‍යයි, ඇය පවසන්නීය. 

මම, පොත්පත් විශාල වශයෙන් කියෙව්වා. බළපිටිය ප්‍රාදේශීය සභාවේ වතුගෙදර උප කාර්යාලයේ පුස්තකාලයේ මම සාමාජිකාවක්. සෑම සතියකම පොත් දෙක තුනක් ගෙනැත් කියවනවා. වැඩියෙන් කියෙව්වේ රහස් පරික්ෂක කතා. මම ඒවා කියවන්න හරි ආසයි. චෙස්, පිහිනුම් හා කරාතේ ක්‍රීඩාවන් කළා. දේවානන්ද විද්‍යාලයේ වයස අවුරුදු 09 න් පහළ චෙස් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරනවා.

මගේ කණ්ඩායම සමස්ථ ලංකා ජයග්‍රහණ කිහිපයක්ම ලබාගෙන තිබෙනවා. එක අවස්ථාවක පුවරු ත්‍යාගය (06 න් 06 ම ජයග්‍රහණය කිරිම) පවා මට ලැබුණා. චෙස් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා වසර 03 ක් පමණ වෙනවා. පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා තවම මාස 06 ක් පමණ වෙන්නේ. බළපිටිය ද වලව්ව හෝටලයට සම්බන්ධව පිහිණුම් ක්‍රීඩාව ප්‍රගුණ කරනවා. 

කරාතේ මම ආසාවෙන්ම කරන ක්‍රීඩාව. දැනට වසරකට ආසන්න කාලයක් කරාතේ ක්‍රිඩාවේ නිරත වෙනවා. සෙන්සේ සුදත් නලින්ද ගුරුතුමා ආදරයෙන් මතක් කරනවා. 

ශෙනුදිගේ මව, ඩී පී සචිනි ප්‍රසාදිකා, ඇල්පිටිය ඉදිපලේගොඩ ප්‍රදේශයේ අයෙකි. ඉදිපලේගොඩ නවෝද්‍යා පාසැලෙන් අපොස (උ.පෙළ) විශිෂ්ඨ අයුරින් සමත් වී ඇය දෙවන ඉහළ සාමාර්ථයක් සහිත උපාධිධාරිණියකි. මෙම දියණියත් දැනට පෙර පාසැල් යන දියණියත් රැක බලා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට මහත් පිටුවහලක් වී ඇත්තේ සචිනිය.

දියණිය, මාස 06 ක් පමණ බළපිටිය හීනටිය රාහුල විද්‍යාලයට ගිය බවත් පසුව අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට ඇතුල් කල බවත් ඇය කියයි. දියණිය ගොඩක් රෑ වෙනකම් පාඩම් කළේ නැහැ. හැමදාම 11 වන විට ඇය නිදා ගත්තා. තාත්තා ගෙදර එනකම් පාඩම් කරන සිරිතක් දියණියට තිබුණ බවද සචිනි ප්‍රකාශ කරන්නීය.

දියණිය උපකාරක පංති දෙකකට පමණක් ගියා. එයින් එක පංතියකට 03 ශ්‍රේණියේ සිට ගිය බවත් අනෙක් පංතියට ගියේ විභාගයට අවසන් මාස 06 පමණක් බවත් ඇය ප්‍රකාශ සචිනි ප්‍රකාශ කළාය. 

දියණියගේ කැමැත්ම අනුව ඉදිරියේදී කල්පනා කර හා වෙනත් හිතවතුන්ගේ අදහස් අනුව ඇයගේ අනාගත අධ්‍යාපන කටයුතු සැලසුම් කරන බව ශනුදිගේ පියා වන එම් ඩබ්ලිව් ප්‍රසාද් පවසයි. මෙම ජයග්‍රහණය පිටුපස සිටි දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමිය තනුකා පාරමී මහත්මිය ඇතුළු ගුරුවරුන්ට කෘතඥතාවය පලකරන බවද ප්‍රසාද් මහතා ප්‍රකාශ කළේය. ශනුදි අමායාගේ කුඩා කාලයේදී සහ අද (04) පාසැලට ගිය අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.

තමිදු මධුසර ලියනගේ  –  අහුන්ගල්ල

image 4e5aebade1 Iri News
image a2bb712fee Iri News
image 4b266c8f97 Iri News
image 52f7a23653 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *