ඊයේ රාත්‍රියේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “Auto Vision” වැඩසටහන සමඟ සජීවීව සම්බන්ධ වෙමින් ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති මහතා මෙරට යතුරුපැදි ක්ෂේත්රයේ ඉදිරි සැලසුම් සහ වත්මන් වෙළඳපොළ තත්ත්වය පිළිබඳව විශේෂ අනාවරණයන් රැසක් සිදු කර තිබේ.
එහිදී ඔහු විසින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත සිය විශේෂ ස්තුතිය ද පුද කර සිටියේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ වුවද පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ගත් තීරණ අගය කරමින් නිස්සංක සේනාධිපති මහතා මෙසේ පැවසීය:
“හැමදේම වැඩි කරන්න තියෙන තත්වයක උනත් බයිසිකලය කියන්නේ දුප්පතාගේ හිතවතා, ඒක වැඩි කරේ නෑ. හොඳ දේට හොඳයි කියන්න ඕනේ. ජනාධිපති තුමාට සහ Mr නන්දලාල්ටත් ස්තුති කරනවා බයිස්කල් ගේන එක නැවැත්තුවේ නෑ, වැඩි කරේත් නෑ.”
තමන් මුලින්ම බයික් ආනයනය කරන විට ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 311ක්ව පැවති බවත්, අවසන් තොගය එන විට එය රුපියල් 353 දක්වා ඉහළ ගියත් තමන් මිල වැඩි නොකර එම පාඩුව දරාගත් බව ඔහු සඳහන් කළේය.
“සමීර, මං ලෝකයේ ආර්ථික න්‍යාය වෙනස් කළා. ඒ තමයි ඩොලර් එක වැඩි වෙනකොට භාණ්ඩ මිල වැඩි වුණත් ලංකාවේ බයික් වෙළඳපොලේ මිල අඩු වුණා. ඒ අපි වෙළඳපොළට ආව නිසා ලංකාවේ ප්‍රසිද්ධම සමාගමක් රුපියල් 70,000කින් බයික් එක අඩු කරා. 60,000, 40,000 වගේ හැම බයික් එකක්ම අඩු වුණා. ඕනම කෙනෙක් සල්ලි හම්බ කරන එකේ සීමාවක් තියාගන්න ඕනේ.”
ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගම්/කර්මාන්තශාලා 4ක් පිහිටුවීමට කටයුතු කරන බව සේනාධිපති මහතා අනාවරණය කළේය. එමඟින් නිෂ්පාදනය කරන යතුරුපැදි විදේශ රටවලට අපනයනය කිරීමට ද සැලසුම් කර ඇත.
සාමාන්‍යයෙන් ලංකාවට යතුරුපැදි ආනයනය කිරීම සඳහා වසරකට වැය වන ඩොලර් මිලියන 100ක මුදල, වසරක් ඇතුළත නැවත අපනයනය හරහා රටට උපයා දීමට තමන් කටයුතු කරන බව ඔහු සහතික විය.