Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුව සහාය දෙන බව දැනුම් දෙයි

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබාදෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ Parameswaran Iyer මහතා පවසයි.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව අද (04) ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.

ජනපති ප්‍රමුඛ නව රජයට සුබපැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබාදෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පවසා තිබේ.

එසේම නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ. 

වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණදී සිටින ගැටලුවලට  විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

මෙරට කෘෂිකර්මාන්තය, ධීවර, සංචාරක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමුවී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පවසා ඇත. 

රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබාදෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙරට උපදේශන කණ්ඩායමක් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවද සඳහන් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා රජයේ Clean Sri Lanka වැඩසටහන ඇගයීමට ලක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *