මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් දස දෙනාට රුපියල් කෝටිය බැගින් වන්දි ලබා දීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම අමාත්‍යාංශය ඊට අදාල කැබිනට් පත්‍රිකාවද සකස් කර තිබෙන අතර එය ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ අනුව මියගිය නිලධාරීන්ට වයස අවුරුදු 55 දක්වා මාසික වැටුප් ලබා දීමටත් වයස අවුරුදු 55 න් පසුව විශ්‍රාම වැටුප් ලබා දීමටත් මෙමගින් නිර්දේශ කර ඇත. මේ සම්බන්ධයෙන් සිකුරාදා (17 වැනිදා) බන්ධනාගාර ප්‍රධානීන්, අධිකරණ ඇමැතිවරයා හා අමාත්‍යාංශ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.
පසුගිය 05 සහ 06 දෙදින මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් විසි එක් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එසේම සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබිණි.
තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකු සිටින අතර ඒ අතරින් තිදෙනෙක් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකවල මේ වනවිටත් ප්‍රතිකාර ලබති.