නායක පදවියක් දීර්ඝ කාලයක් දැරිය යුතු නෑ,දක්ෂිණ ලංකාවේ ප්‍රධා​න සංඝනායක ධුරයෙන් ඕමල්පේ සෝභිත හිමි ඉල්ලා අස්වෙමින් කියයි

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

2012 වර්ෂයේ සිට මේ දක්වා වසර 14 ක් තිස්සේ දරන ලද එම සංඝනායක ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය 11 දින මාතර සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පැවති එම නිකායේ දකුණු පළාත් මහා සංඝ සභාව අවස්ථාවේදී ය. සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් ඕමල්පේ හිමි සඳහන් කළේ නායක පදවියක් යනු ජීවිත කාලය පුරා දැරිය යුතු ගෞරව නාමයක් නොවිය යුතු බවයි.

“සෑම නායක පදවියක් සඳහා ම සීමිත නිල කාලයක් තිබිය යුතුය. එම සීමිත කාලය තුළ තම වගකීම් මැනවින් ඉටුකර තවත් ව්‍යක්ත ප්‍රතිබල සුදුසු භික්ෂූන් වහන්සේ නමකට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ අනුව තවත් නවකයන්ට විශේෂයෙන් ම තරුණ යතිවරුන්ට ශාසනික අවස්ථා හිමි වනු ඇත” යනුවෙන් ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

භික්ෂු සමාජය අති විශාල වශයෙන් පරිහානි මුඛයට පත්ව ඇති වත්මන් යුගයේ සංඝනායක පදවිය බල රහිත නම්බු නාමයක් පමණක් බවට පත් වී ඇති බව තවදුරටත් ප්‍රකාශ කළ උන්වහන්සේ තම පදවි තානාන්තර බල සහිත කර ගැනීමට උනන්දුවක්වත් නායක කාරකාදීන් තුළ පෙනෙන්නට නැති වීම කනගාටුවට කරුණක් බව ද සඳහන් කළහ.

ප්‍රාදේශික සංඝ සභා 6 කින්, විහාරස්ථාන හා පිරිවෙන් 170 කින් සහ භික්ෂු සංඝයා වහන්සේ 880 නමකින් ද යුතු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් සංඝ සභාව මඟින් ඒකමතික තීරණයෙන් යුතුව 2012 වසරේ දී දකුණු පළාත් නායක පදවියට පත් ඕමල්පේ සෝභිත හිමියෝ පසුගිය වසරේ දී තමා යටතේ පැවති විහාරස්ථාන හා ආයතන 14 ක් සිය ශිෂ්‍යවරයන් වහන්සේලා ප්‍රධාන භික්ෂුන් වහන්සේලා වෙත පිරිනැමීම ද සිදු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *