එමිල් රංජන්ට සම්මාන දෙන බව ඇමති දැන සිටියේ නෑ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගල කියයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද උපහාර පිදීමේ උත්සවයක දී, හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රන්ජන් ළමා හේවා ද සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. 

ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඔහුගේ තිස් හත් වසරක සේවය ඇගයීමක් ලෙසිනි. 

එමිල් රන්ජන් ළමාහේවා ඔහුට හිමි උපහාර සම්මානය ලබා ගනු ලැබූවේ වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අතිනි. 

එමිල් රන්ජන් ළමාහේවා යනු, 2012 වසරේ නොවැම්බර් මස 9 සහ 10 යන දිනවල සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ  රැදවියන් අට දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, කොළඹ මහාධිකරණය මගින් මරණ දඩුවම නියම වූ පුද්ගලයෙකි. 

නමුත් පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලදී. 

එසේ වෙතත්, වත්මන් අධිකරණ අමාත්‍යවරයා, එමිල් රන්ජන් ළමාහේවාට උපහාර පිදීම පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක්ව තිබුණි. 

මේ සම්බන්ධයෙන් ඊයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දී  ඊට සහභාගී වූ මාධ්‍යවේදියෙකු මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගෙන් ප්‍රශ්න කළේ ය. 

එහිදී නීතීඥ සුනිල් වටගල මහතා පවසා සිටියේ, අදාල උපහාර උළෙල සංවිධානය කළ පිරිස්, එමිල් රන්ජන් ළමාහේවාට සම්මානයක් පුදන්නට යන බව අවාසන මොහොත දක්වාම අධිකරණ අමාත්‍යවරයා නොදැන සිටි බවයි. 

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා නුදුරේ දීම ප්‍රකාශයක් සිදු කරනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *