විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි පරිදි මෙරට ප්‍රධාන නගර 04ක් සන්නාමකරණය (City Branding) කිරීමට රජය සැලසුම් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව මහනුවර, කොළඹ, අනුරාධපුර සහ කතරගම නගර මෙලෙස සන්නාමගතකරණය වන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල මහතා පැවසීය.
නගර සන්නාමකරණයට සමගාමීව මහනුවර නගරය සන්නාමකරණය කිරීමේ මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (11) පැවති අතර එහිදී පළාත් අධ්‍යක්ෂවරයා මේ බව අනාවරණය කළේය.
මෙම සාකච්ඡාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
දැනට ලෝකයේ විවිධ රටවල ඇතැම් නගර මේ අයුරින් සන්නාමගත වී ඇතැයිද එවැනි රටවල සංස්කෘතිය, ඉතිහාසය, ආර්ථිකය, ආහාරපාන, සොබාදහම, සංචාරක කර්මාන්තය ආදී අංශවල පවතින ජනප්‍රියතාව අනුව සන්නාමකරණය සිදුව ඇතැයිද කී ඒ මහතා ශ්‍රී ලංකාවේ යෝජිත නගර ද එවැනි අංශවලින් කැපීපෙනෙන තත්ත්වයට පත්ව තිබෙන්නේ යැයි මැදවල මහතා පැවසුවේය.