වසර තුනක කාලයකදී විශුද්ධිකරණය කළ මුදලින් රුපියල් කෝටි 08කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශවලින් ඉඩම් ඇතුළු දේපළ මිලදී ගත් බවට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවෙන් තමන් මුදාහරින්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ප්රතිශෝධන පෙත්සමක් ඊයේ (03) ගොනු කළේය.
එම නඩුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටි ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව මුදාහැර තිබියදී තම සේවාදායකයාට එරෙහිව පමණක් මුදල් විශුද්ධිකරණය කිරීම යටතේ ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාව පවත්වාගෙන යන්නේ කෙසේද? යනුවෙන් ප්‍රශ්න කරමින් ගොනුකර ඇති මෙම ප්රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා හා සුමුදු ප්‍රේමචන්ද්‍ර මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිනි. යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆිල් ෆාරිස් මහතා කරුණු දක්වමින්, 2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී රුපියල් කෝටි 08කට අධික මුදලක් විශුද්ධිකරණය කළැයි චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තම සේවාදායකයාට හා ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවකට එරෙහිව නීතිපතිවරයා විසින් ‘කුමන්ත්‍රණය’ කිරීම නමැති වරදට අදාළ චෝදනා ඉදිරිපත් කර තිබුණේ යැයි කීය.
පසු අවස්ථාවක ඉදිරිපත්වූ කරුණු මත නීතිපතිවරයාගේ ද ඉල්ලීම මත ඩේසි ෆොර්ස්ට් නමැත්තිය මහාධිකරණ නඩුවෙන් නිදහස් කළ බවත්, එම තැනැත්තිය සමඟ එකඟතාවකින් කුමන්ත්‍රණය කළ බවට තම සේවාදායකයාට එරෙහිව නඟා තිබූ චෝදනාවෙන් ඔහු නිදහස් කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම කරනු ලැබුවේ තම සේවාදායකයාට එරෙහිව පමණක් ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාව පවරා පවත්වාගෙන යෑමට නොහැකි හෙයින් බවත් කී නීතිඥ හෆිල් ෆාරිස් මහතා, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ බවත් දැනුම් දුන්නේය. විත්තිකාරිය නිදහස් කර තිබියදී තම සේවාදායකයාට එරෙහිව පමණක් ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාව පවත්වාගෙන යන්නේ කෙසේද? යනුවෙන් නීතිඥ හෆිල් ෆාරිස් මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදී මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද? යනුවෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින්, එවැනි අවස්ථාවක අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත්, අවශ්‍ය නම් පසු අවස්ථාවක යළිත් චෝදනා පත්‍රයක් ගොනු කිරීමට හැකියාව ඇති බවත් නීතිඥ හෆිල් ෆාරිස් මහතා පෙන්වා දුන්නේය.
වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින්, මහාධිකරණ නඩුවේ මෙම විත්තිකාරියක වශයෙන් නම්කර සිටි ඩේසි ෆොරස්ට් නමැත්තියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට වසර 10කට පෙර නුගේගොඩ දිසා අධිකරණයෙන් තීන්දුවක් දී ඇතැයි පැවසීය. ඒ බව මහාධිකරණ නඩුවේදී පෙන්වා දීමෙන් අනතුරුව විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳ මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත්, එම පරීක්ෂණයේදී නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් ඇයට නොමැති බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් වූ බවත් කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, එම වෛද්‍ය වාර්තාව පදනම් කරගෙන අදාළ නඩුවෙන් විත්තිකාරිය නිදහස් කිරීමට අධිකරණය නියම කළ බවත් පැවසීය.
අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඒ අවස්ථාවේදී අධිකරණය අමතමින් ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරිය මහාධිකරණ නඩුවෙන් නිදහස් කර ඇත්තේ තාක්ෂණික කරුණක් මත බවත්, ඒ බව මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගය සඳහන් කර ඇති බවත් පෙන්වා දුන්නේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් මහාධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරිය නිදහස් කර ඇත්තේ වෛද්‍යමය හේතුන් මත බවත්, විත්තිකාරිය නිදහස් කළ කරුණ පදනම් කරගෙන මහාධිකරණ නඩුවේ පළමු විත්තිකරුට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් මතු නොවන බවත් පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම ප්රතිශෝධන පෙත්සම පිළිබඳ විභාගය ජුනි 16 වැනිදා පැවැත්වීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය. පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ජුනි 08 වැනිදාට පෙර ගොනු කිරීමට වගඋත්තරකාර පාර්ශ්වයටද ප්‍රති විරෝධතා ඇතොත් ජුනි 11 වැනිදාට පෙර ගොනු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයටද නියම කළේය.