ආනයන සීමා පැනවීමට කිසිදු අදහසක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ආනයන සීමා පනවනු ඇතැයි අසත්‍ය මතවාදයක් පතුරවමින් අනවශ්‍ය ඉල්ලුමක් නිර්මාණය කර පිටරටින් ගෙන්වන ඇතැම් භාණ්ඩවල මිල කෘත්‍රිමව ඉහළ දැමීමට අවශ්‍ය වටපිටාවක් සැකසීමේ ක්‍රියාදාමයක් මේ වන විට මතුව ඇත. එවැනි ක්‍රියාදාමයන්ට ඉඩ ලබාදීමට ආනයන සීමා පැනවීමක් සිදු කළ යුතුව තිබේ. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේදැයි අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් අධිපතිවරයා පැහැදිලි කළේ ආනයන සීමා පැනවීමකින් මේ වන විට එක්සත් ජනපද ඩොලරයට මතුව ඇති ඉල්ලුම අඩු කිරීම වැනි ක්‍රියාදාමයන්ට යොමු වීමට අදහසක් නොමැති බවය.
ආනයන සීමා පනවමින් ආර්ථිකය හැසිරවීමට පෙර දවසේ කටයුතු කළ ද වර්තමානය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකම් ලබාගෙන තිබෙන අවස්ථාවක එවැනි සීමා පැනවීමට හැකියාවක් නොමැති බව ද, එසේ වුවහොත් දෙපාර්ශ්වය අතර ඇති කරගෙන තිබෙන එකඟතා සංශෝධනය කිරීමට සිදු වන බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.