පරන්තන් කර්මාන්ත ශාලාව යළි අරඹන්න ආයෝජකයන් කැදවයි

පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබූ පරිශ්‍රය තුළ කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් දැනටමත් අවසන් කර ඇති අතර, ඉදිරියේදී කර්මාන්ත ශාලාව එම ස්ථානයේ ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.

දැනට පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් ක්ලෝරීන් ආනයනය කර රට පුරා බෙදාහරිනු ලබන අතර, රටේ ජල පිරිපහදුව සඳහා අවශ්‍ය මුළු ක්ලෝරීන් ප්‍රමාණයම ආනයනය කරනු ලබන බැවින්, ගෝලීය සැපයුම් දාම වලට බාධා සිදු වන අවස්ථා වලදී සමස්ත ජල පිරිපහදු පද්ධතියම ඇණහිටීමේ අවදානමක් පවතී.

එසේම, ක්ලෝරීන් ආනයනය සඳහා වැය වන විදේශ විනිමය අවම කර ගනිමින් ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ක්ලෝරීන් නිපදවීමේ කම්හලක් රට තුළ ස්ථාපිත කිරීම ජාතික වශයෙන් වැදගත් කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. එමෙන්ම, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ඍජු රැකියා අවස්ථා 95ක් පමණ සහ වක්‍ර රැකියා අවස්ථා 2,000 ක් පමණ නිර්මාණය වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම පිහිටි ඉඩමෙන් එම සමාගම වෙත වෙන් කර දෙනු ලැබ ඇති අක්කර 30ක භූමිය තුළ යෝජිත ව්‍යාපෘතිය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය ආයෝජකයින් වෙතින් අභිලාෂය ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *