අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල මගීන් ආසන පටි පැලඳීම සිදු නොකළොත් මගියාට රුපියල් 1000 ක දඩ පැනවීමට තීරණය කරයි

අධිවේගී මාර්ගයන්හි සිදුවන රථවාහන අනතුරුවලින් සිදුවන ජීවිත හානි හා බරපතල තුවාල ලැබීම් අවම කිරීමේ අරමුණින්, ලබන සැප්තැම්බර් මස 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් සඳහා ද ආසන පටි (Seat Belts) පැලඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.

විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේ මෙම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් බවයි.

අදාළ නීතිය කඩකරමින් ආසන පටි නොපැළඳ ගමන් කරන පුද්ගලයන්ගෙන් රුපියල් 1,000ක දඩ මුදලක් අයකර ගැනීමට නීතිමය ප්‍රතිපාදන පවතින අතර, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් ද මෙම දඩය අයකර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මීට අමතරව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න ප්‍රකාශ කළේ, ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලය ද සැප්තැම්බර් 19 වැනිදායින් අවසන් වන බවයි.

2025 සැප්තැම්බර් 25 වන දින නිකුත් කරන ලද අංක 2455/29 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ක්‍රියාත්මක වන මෙම නීතිය, මගීන්ගේ උපරිම ජීවිත ආරක්ෂාව වෙනුවෙන්ම සකස් කර ඇත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *