හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් තම මව වන අභාවප්‍රාප්ත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 110 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් ගෞරවණීය අනුස්මරණයක් සිදුකර තිබේ.
එම සටහන ඔස්සේ තමන් සහ තම සහෝදර සහෝදරියන් කුඩා කල තම මවගෙන් ලැබුණු විනයගරුක සහ ආදර්ශමත් හැදීවැඩීම පිළිබඳව ඇය සිහිපත් කරයි.
රජයේ දේපළ පෞද්ගලික භාවිතය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක්
මව අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ තමන් ඇතුළු සහෝදර සහෝදරියන් තිදෙනාටම පෞද්ගලික භාවිතය සඳහා ලැබී තිබුණේ එකම මෝටර් රථයක් පමණක් බවත්, රජයේ වාහන භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බවත් ඇය පවසයි.
එම අතීතය සිහිපත් කරමින් ඇය දක්වා තිබූ අත්දැකීම මෙසේය:
“එක දවසක් අක්කා එම මෝටර් රථයෙන් ගමනක් ගොස් සිටි අතර, මටත් හදිසි ගමනක් යාමට අවශ්‍ය විය. අක්කා නැවත ඒමට ප්‍රමාද වූ නිසා, එම අවස්ථාවේ අරලියගහ මන්දිරයේ සිටි අම්මාගේ නිල රථය ඉල්ලාගෙන මම එම ගමන ගියෙමි. මා නැවත පැමිණෙන විට අම්මා තරප්පුව අසල සිට මා දෙස බලා, ‘ආණ්ඩුවේ වාහන මේ විදිහට පාවිච්චි කරන්න ඔයා කවුරු කියලද හිතාගෙන ඉන්නේ?’ යනුවෙන් දැඩි ලෙස තරවටු කළා.”
එම පාඩම තම දරුවන් වෙනුවෙන්ද අනුගමනය කළා
තම මව එදා උගන්වා තිබූ එම විනයගරුක පූර්වාදර්ශය, තමන් ජනාධිපති ධුරය හොබවන සමයේදී පවා ඉතා තදින් අනුගමනය කළ බවත්, තම දරුවන් දෙදෙනාට වුවද හිතුමතේ රජයේ දේපළ භාවිත කිරීමට කිසිදු ඉඩක් ලබා නොදුන් බවත් ඇය අවධාරණය කරයි.
රටේ පවතින තත්ත්වය පිළිබඳ සංවේදී ඉල්ලීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අද ජීවත්ව සිටියේ නම් 110 වන වියේ පසු වනු ඇති බවත් සිහිපත් කරන හිටපු ජනාධිපතිනිය, රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සංවේදී වෙමින් මෙසේ සටහන් කර තිබේ:
“ආදරණීය අම්මේ! නිවන් දකින්න පෙර අප අතරට යළි එන්න – ගිලන් වී තිබෙන අප දේශය සුව කරන්නට!”