විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ මූලිකත්වය ඇතිව ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X DRAGONFLY චන්ද්‍රිකාව පසුගියදා (19 ) මෙරට වේලාවෙන් පස්වරු 2.20ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීම සාර්ථකව සිදු කෙරිණි.මේ නැනෝ චන්ද්‍රිකාව මෙරට අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මඟේ තවත් සිවුශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරන අතර පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කළ “SPX33“ රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.
BIRDS-X DRAGONFLY චන්ද්‍රිකාව කක්ෂය වෙත මුදා හැරීම සිදුවන අයුරු නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනයේ දී සජීවීව විකාශය කළේය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවවි,ආතර් සී.ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහත්වරුන් ඇතුළු විද්වතුන්,පාසල් සිසුහු මේ අවස්ථාවට සහභාගි වූහ.ආපදාවකදී දත්ත ලබා ගැනීම,මාළු අස්වැන්න තිබෙන ප්‍රදේශ හඳුනා ගැනීම,අයථා ලෙස ගමන් කරන බෝට්ටු,මත්ද්‍රව්‍ය සොයා ගැනීම,කෘෂිකාර්මික කටයුතු සඳහා තීරණ ගැනීම ආදී කටයුතු සඳහා මේ නැනෝ චන්ද්‍රිකාව උපයෝගී වේ. මේ චන්ද්‍රිකාව මෙරටට ඉහළින් දිනකට දෙවරක් ගමන් කරනු ඇත.