ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් 17 වන ‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ අද

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය’ අද (19දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී පැවැත්වේ.

මෙවර සැමරුම් උත්සවය සඳහා පළමුවරට උතුරු නැඟෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති බි්‍රගේඩියර් එස්.බී.කොහොන මහතා පවසයි.

එහිදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති බි්‍රගේඩියර් එස්.බී.කොහොන මහතා මෙසේ ද කීය.

‘පසුගිය වසරවල වගේම මේ වසරෙත් මැයි 19 වැනිදා බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී මේ සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. මෙවර පැවැත්වෙන්නේ 17 වැනි සැමරුම් උත්සවයයි.

සුවිශේෂී වෙනස්කම් කීපයක් අපි මෙවර සිදු කර තියෙනවා. වෙනදාට වැඩියෙන් රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වය වැඩි කර තිබෙනවා. උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් අපිත් එක්ක යුද්ධයේ දී ත්‍රිවිධ හමුදාවට එක්වෙලා යුද වැදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවෙච්ච උතුරු නැඟෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝවිට ඔවුන්ගේ සම්බන්ධතාව අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැඟෙනහිර දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගි කරවා ගැනීමට. 30ක විතර ප්‍රමාණයකට අපි ඇරයුම් කරලා තියෙනවා. ඔවුන්ගේ සහභාගිත්වය සනාථ කර තියෙනවා. ඒ අනුව සුවිශේෂී අවස්ථාවක් හැටියට අතිගරු ජනාධිපතිතුමන් එක්ක තමන්ගේ මියගිය ඥාතියා වෙනුවෙන් ජාතියේ ගෞරවයට එකතු වෙලා තමන්ගේ ගෞරවය පුද කිරීමේ අවස්ථාව අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා.”

එහිදී අදහස් දක්වමින් රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් එල්.එම්.සී.ඩී.නිශ්ශංක මහතා සඳහන් කළේ යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බළකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් මෙන්ම ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනකු මේ සඳහා සහභාගී වීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *