2014 සිය 2024 දක්වා ආරම්භ කර අතරමග නැවතූ සෞඛ්‍ය ව්‍යාපෘති 25​ක වැඩ යළි ඇරඹීමට රජය තීරණය කරයි

2014, 2016, 2017, 2018, 2019, 2024 යන වසර වලදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදි­කි­රීම් ආරම්භ කර අත­ර­මඟ නතර කර තිබූ මහා පරි­මාණ ව්‍යාපෘති 25ක වැඩ­ක­ට­යුතු යළි ආරම්භ කිරී­මට රජය තීර­ණය කර තිබේ. ඒ සඳහා රුපි­යල් මිලි­යන 76,000ක විය­ද­ම් වන බවයි පැවසෙන්නේ.

මීට රට පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අත­ර­මඟ නවතා දමා තිබූ මහා පරි­මාණ ව්‍යාපෘති අයත් වෙයි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ මැදිහත්වීමෙන් මෙම පුළුල් සහ කඩි­නම් වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක වේ.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ප්‍රධාන ගොඩ­නැ­ඟිල්ල ඇතුළු අත්‍ය­වශ්‍ය බවට හඳුනා ගනු ලැබූ ප්‍රධාන මහා පරි­මාණ සංව­ර්ධන ව්‍යාපෘති 25ක වැඩ­ක­ට­යුතු අව­සන් කිරීම සඳහා 2025 අය – වැය ප්‍රති­පා­දන මඟින් රුපි­යල් මිලි­යන 16,000ක මුද­ලක් වෙන් කරනු ලැබ ඇත. මෙම වසරේ වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 19,000කි. රුපි­යල් මිලි­යන 38,000ක මුද­ලක් 2027 වස­රේදී වෙන් කිරී­මට සැල­සුම් කර ඇත.

ළමා හා මාතෘ සෞඛ්‍ය නංවා­ලීම, පිළිකා ප්‍රති­කාර සේවා පුළුල් කිරීම, හෘද සහ තැල­සී­මියා රෝගී ප්‍රති­කාර සත්කාර, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ප්‍රධාන කාර්යා­ලය සහ ජාතික මධ්‍ය­ස්ථාන, හදිසි අන­තුරු සත්කාර සේවා ශක්ති­මත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ පරි­සර හිත­කාමී අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය ආදි ක්ෂේත්‍ර­යන්ට අදාළ ගොඩ­නැ­ඟිලි සහ අනෙ­කුත් ඉදි­කි­රීම් මෙම වැඩ­ස­ට­හ­නට ඇතු­ළත්ය.

ඒ යටතේ 2019 වසරේ ඉදි­කි­රීම් ආරම්භ කළ, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ සහ වාට්ටු සංකී­ර්ණයේ (Maternity & Ward Complex) ඉදි­කි­රීම් අති නවීන පහ­සු­කම් ද ඇතු­ළත් කර මේ වන ­විට අව­සන් කර තිබේ. ඒ සඳහා වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 389කි. 2017 වසරේ ආරම්භ කළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) මහල් 12කින් යුත් “පුංචි හද­වත්” ඒක­කයේ (Little Heart Centre) ඉදි­කි­රීම් මේ වන විට අව­සන් අදි­ය­රට ළඟා වී ඇත. ඒ සඳහා වෙන් කළ ඇස්ත­මේන්තු මුදල රුපි­යල් මිලි­යන 6218 කි‍. 2016 වසරේ ආරම්භ කර අත­ර­මඟ නවතා දමා තිබූ මහ­නු­වර ජාතික පිළිකා ප්‍රති­කාර ඒක­කයේ (cancer Treatment Unit) අදි­යර 2 යටතේ වූ මහල් 8ක ඉදි­කි­රීම් මේ වන­විට අව­සන් කර තිබේ. මෙවර අය – වැයෙන් වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 400කි. එමෙන්ම බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් ගොඩ­නැ­ඟිල්ල සහ සය මහල් පිළිකා රෝග ඒක­කයේ ඉදි­කි­රීම් කට­යුතු මේ වන­වි­ටත් ක්‍රියා­ත්මක වෙමින් පව­තින අතර එම ඉදි­කි­රිම් කට­යුතු සඳහා වත්මන් රජය 2026 වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල රුපි­යල් මිලි­යන 1000කි. යාප­නය ශික්ෂණ රෝහලේ අන­තුරු සහ හදිසි ප්‍රති­කාර ඒකක ගොඩ­නැ­ඟිල්ල, කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකක ගොඩ­නැ­ඟිල්ල (Surgical Medical Unit), මඩ­ක­ල­පුව සහ හම්බ­න්තොට වකු­ගඩු සත්කා­රක ප්‍රති­කාර ඒකක (Renal Care Units) ගොඩ­නැ­ඟිලි සහ මහ­නු­වර ජාතික රෝහලේ ඇට­මි­දුලු බද්ධ කිරීමේ ඒකක ගොඩ­නැ­ඟිල්ල යනාදි ව්‍යාපෘ­ති­වල ඉදි­කි­රීම් මේ වන­විට අව­සන් අදි­යරේ පව­තියි. මෙම ව්‍යාපෘති සඳහා 2026 වස­රට රුපි­යල් මිලි­යන 1750ක මුද­ලක් වෙන් කර ඇත.

2014 වස­රේදී ඉදි­කි­රීම් ආරම්භ කර අත­ර­මඟ නැවතී තිබූ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ප්‍රධාන කාර්යාල ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­කි­රීම් කට­යුතු මේ වන විට අව­සන් අදි­ය­රට ළඟා වෙමින් පව­තියි. මේ සඳහා 2026 වර්ෂයේ අය­ වැය මඟින් වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 3000කි.

මුල්ලේ­රි­යාව ජාතික ආඝාත මධ්‍ය­ස්ථා­නයේ (National Stroke Centre) රෝග විනි­ශ්චය අංශය, කෑගල්ල, ත්‍රිකු­ණා­ම­ලය, අම්පාර, හලා­වත සහ මහ­නු­වර යන රෝහ­ල්වල බාහිර රෝගී සහ හදිසි අන­තුරු ඒකක ඉදි­කි­රීම් සහ අදාළ කට­යුතු මේ වන විට සාර්ථක කාර්ය­සා­ධ­න­යක් පෙන්නුම් කර­මින් ක්‍රියා­ත්මක වෙමින් පව­තින අතර, එම සංව­ර්ධන කට­යුතු සඳහා වෙන් කර ඇති මුදල රුපි­යල් මිලි­යන 1750කි.

මෙම වසර අව­සන් වීමට පෙර මෙරට රෝහල් පද්ධ­තිය තුළ ආසා­දිත අප­ද්‍රව්‍ය දහ­නය කරන යන්ත්‍ර (Incinerators) 15ක් ස්ථාපිත කර ක්‍රියා­ත්මක කිරීම අව­සන් අදි­යරේ පව­තින අතර ඒ සඳහා රජය සහ JICA ඒකා­බද්ධ ව්‍යාපෘ­ති­යක් දැනට සාර්ථ­කව ක්‍රියා­ත්මක වේ.

මීට අම­ත­රව රත්න­පුර රෝහලේ හෘද රෝග සත්කාර සංකී­ර්ණය, කළු­තර මහල් 04 කින් සම­න්විත හෙද අධ්‍ය­යන හා පරි­පා­ලන ගොඩ­නැ­ඟිල්ල, අනු­රා­ධ­පුර හෙද විදු­හලේ අධ්‍ය­යන හා පරි­පා­ලන ගොඩ­නැ­ඟිල්ල සහ හෙද නිල නිවා­සය, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර හෙද පීඨයේ මහල් 06කින් යුත් නේවා­සි­කා­ගාර ගොඩ­නැ­ඟිල්ල යනාදී ඉදි­කි­රීම් කට­යුතු ද මේ වන විටත් ඉතා සාර්ථ­කව සිදු­වෙ­මින් පව­තියි.

ඉහත ව්‍යාපෘ­තී­න්ව­ලට අම­ත­රව රෝහ­ල්වල යටි­තල පහ­සු­කම් නවී­ක­ර­ණය සහ පුන­රු­ත්ථා­ප­නය සඳහා රුපි­යල් මිලි­යන 8800කට අධික මුද­ලක් වෙන් කර ඒවායේ වැඩ­ක­ට­යුතු ද මේ වන­ විට ද ආරම්භ කර ඇත.

මෙම සියලු ඉදි­කි­රීම් කඩි­න­මින් නිම කර ජනතා සේව­යට හැකි ඉක්ම­නින් එක් කරන ලෙස සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා අදාළ අංශ වෙත අවශ්‍ය උප­දෙස් දැන­ට­මත් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *