මහේස්ත්‍රාත් – විනිසුරු ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම්

මහේස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මේ මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන්ට මේ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ද කොමිෂන් සභාව පැවසීය.

මේ අනුව කොටුව මහේස්ත්‍රාත්වරිය ලෙස සේවය කළ නිලුපුලී ලංකාපුර මෙණෙවිය මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීම් ලබා පුරප්පාඩු වූ එම තනතුරට ගාල්ල මහේස්ත්‍රාත් අයි.එන්.එන්. කුමාර ගමගේ මහතා පත් කර තිබේ. කුරුණෑගල මහේස්ත්‍රාත් එන්.ඩී. ගුණරත්න මහතා, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා ලෙස මාරු කර යවා තිබේ.

මේ ස්ථාන මාරුවීම් යටතේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය මහර මහේස්ත්‍රාත් අධිකරණයටත්, මහර මහෙස්ත්‍රාත් එච්.ජී.ජේ.ආර්. පෙරේරා මහතා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙතත් මාරු කර ඇති බව වාර්තා වේ.

කොළඹ අතිරේක ම‌හේස්ත්‍රාත් පී.එස්. පතිරණ මහත්මිය බළපිටිය මහේස්ත්‍රාත්වරයා ලෙසත්, බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව මේ ස්ථාන මාරුවීම් යටතේ අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17 දෙනෙකු මහේස්ත්‍රාත්වරු, අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *