ත්‍රි’ මලේ තෙල් ටැංකි සංවර්ධනය කරද්දි කකුලෙන් ඇද්දේ ජවිපෙ – වජිර අබේවර්ධන කියයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක්ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එම තෙල් ටැංකි වල අයිතිය කාට තිබුණත් මෙවැනි අවස්ථාවක එහි ප්‍රයෝජනය ලැබෙන්නේ මෙරට ජනතාවට බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ඇතිවී තිබෙන උග්‍ර තෙල් හිඟය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා තුනකදීම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම් නිසා අතහැර දැමීමට සිදුවූ බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ 2002-2004 යුගයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට විධි විධාන යෙදුවා.ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ව්‍යාජ භීතියක් මවමින් ඒ කටයුතු අඩාල කරනු ලැබුවා.

නැවත වතාවක් 2015-2020 කාල වකවානුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය රජයේද සහාය ඇතිව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගත්තා.ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම නිසා එම කාර්යයත් යටපත්ව ගියා.

නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස 2022-2024 වකවානුවේදී තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයන් නිසා ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ.

මේ අවස්ථා තුනෙන් එකකදී හෝ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබුණා නම් වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ රටට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ඉඩ ලැබෙනවා.

එම ටැංකිවල අයිතිය කාට තිබුණත් ඒවායේ තිබෙන තෙල් වල හිමිකම ලැබෙන්නේ ශ්‍රී ලංකාවටයි.අර්බුදකාරී අවස්ථාවක ඉතා සුමටව ඊට මුහුණ දීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකිය යොදා ගැනීමට අවස්ථාව තිබුණා.ඒ මහඟු අවස්ථා තුනම කඩාකප්පල් කරන ලද ජනතා විමුක්ති පෙරමුණට අද දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දී ඇතැයි එජාප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *